September, 18, 2026
WindForce PLC සමාගම සිය ප්‍රථම ජාල-මට්ටමේ (grid-scale) බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) සහ නව පාවෙන සූර්ය බලශක්ති බලාගාරය විවෘත කිරීමත් සමඟ, එහි සමස්ත පුනර්ජනනීය බලශක්ති උත්පාදන ධාරිතාව මෙගාවොට් 268 (268 MW) දක්වා සාර්ථකව වර්ධනය කරගෙන ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වෙත අද (18) උදෑසන සිදුකළ දැනුම් දීමට අනුව මෙම ව්‍යාපෘති ද්විත්වයම අද (18) දිනයේ දී මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
අනුරාධපුරයේ පිහිටි 10 MW/40 MWh ධාරිතාවයකින් යුත් BESS ව්‍යාපෘතිය StoreX (Pvt) Ltd හරහා සංවර්ධනය කර ඇති අතර, එය WindForce PLC සහ Vidullanka PLC සමාගම්වල ඒකාබද්ධ ව්‍යාපෘතියකි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාල-මට්ටමේ බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතිය වේ.
සමස්තයක් ලෙස ජාතික විදුලිබල පද්ධතියට 130 MW/520 MWh ගබඩා ධාරිතාවක් සපයන ඉදිකිරීමට නියමිත BESS ව්‍යාපෘති 13 න් පළමු ව්‍යාපෘතිය වන්නේ මෙම අනුරාධපුර අද දින මෙහෙයුම් ඇරඹෙන ව්‍යාපෘතියයි.
මීට අමතරව, WindForce PLC සමාගමෙහි පූර්ණ අයිතිය සහිත අනුබද්ධිත සමාගමක් වන Diyajanani (Pvt) Ltd විසින් සංවර්ධනය කරන ලද 5 MW පාවෙන සූර්ය බලශක්ති බලාගාරයද මෙහෙයුම් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා වන සම්මත බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම 2025 නොවැම්බර් 28 දින අත්සන් කරන ලදී.
මෙම පාවෙන සූර්ය බලශක්ති බලාගාරය මගින් වසරකට 9 GWh පමණ පුනර්ජනනීය බලශක්තියක් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘති දෙක මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ WindForce PLC සමාගමේ සමස්ත පුනර්ජනනීය බලශක්ති උත්පාදන ධාරිතාව 268 MW දක්වා ඉහළ ගොස් ඇත.
Video Story