September, 18, 2026
තිරසාර වර්ධනය, වගකීම්සහගත බැංකුකරණය සහ අර්ථවත් සමාජයීය බලපෑම උදෙසා කැපවුණු අරමුණු සහිත මූල්‍ය ආයතනයක් ලෙස තම ස්ථාවරය නැවතත් තහවුරු කරමින්, National Business Excellence Awards හි දී බැංකු ක්ෂේත්රයේ අනුශූරතාව හිමිකර ගැනීමට SDB බැංකුව සමත් වී ඇත.
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce of Sri Lanka) මගින් සංවිධානය කරනු ලබන National Business Excellence Awards යනු, ව්‍යාපාරික කාර්යසාධනය, ආයතනික පාලනය, තිරසාරභාවය, නවෝත්පාදනය සහ වටිනාකම් නිර්මාණය යන ක්ෂේත්රයන්හි විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරන ආයතන ඇගයීමට ලක්කෙරෙන මෙරට වඩාත්ම සම්භාවනීය සම්මාන උළෙලකි.
මෙම ඇගයීම මගින්, ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය සහ ජාතික සංවර්ධනය උදෙසා වන දැඩි කැපවීම සාර්ථකව මුසු කිරීමට SDB බැංකුව දක්වන සමත්කම පිළිඹිබු වේ. සිය මෙහෙයුම් හරහා මූල්‍ය අන්තර්කරණය, කාන්තා බලගැන්වීම, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සංවර්ධනය, ඩිජිටල් ප්‍රවේශ්‍යතාව මෙන්ම ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්රජාවන්ගේ අභිවෘද්ධිය උදෙසා බැංකුව අඛණ්ඩව දායකත්වය සපයයි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුව හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් අක්මීමන මහතා මෙසේ පැවසීය: "බැංකු ක්ෂේත්රයේ අනුශූරතාවයෙන් පිදුම් ලැබීම යනු අරමුණක් සහිත මූල්‍ය ආයතනයක් ලෙස අප අත්කර ගනිමින් සිටින ප්‍රගතිය ඇගයීමට ලක්වූ වැදගත් අවස්ථාවක්. මෙම ඇගයීම මගින් අපගේ සේවක මණ්ඩලයේ කැපවීම මෙන්ම අපගේ පාරිභෝගිකයින්, කොටස්කරුවන්, ව්‍යාපාරික පාර්ශවකරුවන් සහ ප්‍රජාව අප කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසය පිළිඹිබු වෙනවා."
ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්, "අපගේ අවධානය යොමු වන්නේ හුදෙක් මූල්‍ය කාර්යසාධනය කෙරෙහි පමණක් නෙවෙයි. අපගේ සියලුම මෙහෙයුම් තුළ වගකීම්සහගත බැංකුකරණ පිළිවෙත් ශක්තිමත් කරන අතරම, ව්‍යවසායකයින්, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්, පුද්ගලයින් සහ ප්‍රජාවන් සබල ගන්වමින් තිරසාර ආර්ථික හා සමාජයීය වටිනාකමක් නිර්මාණය කිරීමට අප කැපවී සිටිනවා." යනුවෙන් සඳහන් කළේය.
පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන මූලධර්ම, SDB බැංකුව හි උපායමාර්ගික සහ මෙහෙයුම් දර්ශනයේ ප්‍රධාන තැනක් ගනියි. මූල්‍ය සේවාවන් වෙත ඇති ප්‍රවේශය පුළුල් කිරීම සහ විධිමත් ආර්ථිකය සඳහා පුළුල් සහභාගීත්වයක් ලබා දීම උදෙසා පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම්, ඩිජිටල් හැකියාවන් සහ ප්‍රජා මූලික මුලපිරීම් ශක්තිමත් කිරීමට බැංකුව අඛණ්ඩව කටයුතු කරයි.
මෙම නවතම සම්මානය, SDB බැංකුව හි තිරසාරභාවය පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග තවදුරටත් තීව්ර කිරීමටත්, පාර්ශවකරුවන්ගේ විශ්වාසය වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන ආර්ථික හා සමාජයීය ප්‍රගතියට අඛණ්ඩව දායක වීමටත් මහඟු උත්තේජනයක් වනු ඇත.
ඡායාරූප විස්තරය - වමේ සිට දකුණට: නිලුපමා මදුරාවල - ජ්‍යෙෂ්ඨ කළමනාකාරී - තිරසාර බැංකුකරණ ඒකකය - SDB බැංකුව, ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු - ප්‍රධාන විධායක නිලධාරී - විජය පුවත්පත් සමාගම, ජානක රත්නකුමාර - නියෝජ්‍ය සභාපති - ජාතික වාණිජ මණ්ඩලය, චිත්‍රාල් ද සිල්වා - ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී - SDB බැංකුව, ආචාර්ය රංජිත් නන්දන පීරිස් - සභාපති - කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (පුද්ගලික) සමාගම, සුජීව පෙරේරා - ප්‍රධානී (SME අංශය) - SDB බැංකුව.
Video Story