September, 21, 2026
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නව BYD Mobile App නිල වශයෙන් හඳුන්වා දී ඇත. මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයට නවීනතම තාක්ෂණික පද්ධතියක් මේ හරහා හඳුන්වා දෙන අතර මෙය BYD සන්නාමයේ ඩිජිටල් සේවා ඉදිරියටම රැගෙන යාමේ තවත් එක් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකිය.
BYD Mobile App හඳුන්වා දුන් දින සිට මේ දක්වා පාරිභෝගිකයින් 4,000කට වැඩි පිරිසක් එය download කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රය තුළ ඉතා කෙටි කලකදී පාරිභෝගිකයින් 4000කට වැඩි පිරිසක් තම තාක්ෂණික පද්ධතිය සමඟ සම්බන්ධ කරගත් පළමු සමාගම බවට BYD පත් වූ අතර එය සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම, මෙරට සීඝ්‍රයෙන් වර්ධනය වන BYD පාරිභෝගික ප්‍රජාව අතර ඇති වාහන තාක්ෂණය සඳහා වන දැඩි උනන්දුව ද මෙයින් මනාව පෙන්නුම් කරයි.
මෙමගින් ශ්‍රී ලංකාවේ වාහන හිමියන්ට තම වාහනය භාවිත කිරීමේදී ලැබෙන අත්දැකීමේ කැපී පෙනෙන වෙනසක් සිදුවනු ඇත- ඒ අනුව වාහනයක් යනු හුදෙක් මාර්ගයේ ධාවනය කිරීමට පමණක් සීමා වූවක් නොවන අතර, තමන් යන එන ඕනෑම තැනකදී වාහනය පාලනය කළ හැකි සැබෑ ස්මාර්ට් රිය පැදවීමේ අත්දැකීමක් හිමිකර ගැනීමට මින් අවස්ථාව සැලසේ. මීට අමතරව මෙරට BYD පාරිභෝගිකයින්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, නව බලශක්ති වාහන (NEV) තාක්ෂණය ඉතා පහසුවෙන් භාවිත කිරීමේ අවස්ථාව උදා වේ.
John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේ, BYD Mobile App හඳුන්වා දීම හරහා මෙරට ස්මාර්ට් වාහන තාක්ෂණයේ නව පෙරළියක් සිදු කර ඇති බවයි. එහි ඇති ඉහළ තාක්ෂණික සන්නිවේදන හැකියාව, ඕනෑම තැනක සිට වාහනය දුරස්ථව පාලනය කිරීමේ හැකියාව මෙන්ම වාහනයේ තොරතුරු ක්ෂණිකව ලබාගත හැකි වීම වැනි ක්‍රමවේදයන් නිසා, මෙම යෙදවුම මෙරට වෙළඳපොළ තුළ සැබෑ වෙනසක් සිදුකරනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
“BYD Mobile App හඳුන්වා දුන් දා සිට පාරිභෝගිකයින් දැක්වූ ප්‍රතිචාරය මගින් පැහැදිලි වන්නේ, මෙරට පාරිභෝගිකයින් තම වාහන භාවිත කිරීමේදී මෙවැනි ස්මාර්ට් සහ එකිනෙකට සම්බන්ධ ක්‍රමවේදයන් කෙතරම් උනන්දුවකින් පිළිගෙන තිබේද යන්නයි. අපට වඩාත්ම වැදගත් වන්නේ අපගේ පාරිභෝගිකයින් වෙත ඉතා පහසු අත්දැකීමක් ලබාදීමයි. මෙරට මෝටර් රථ ක්ෂේත්‍රය තුළ අපගේ ව්‍යාපාරික කටයුතු පුළුල් ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේ දැවැන්ත ආරම්භක පියවරක් ලෙස අපට මෙය හැඳින්විය හැකියි.” යනුවෙන් ඔහු පැවසුවේය.
නව වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් BYD Mobile App සක්‍රීය කරදීමේ කටයුතු පළමුවෙන්ම කොළඹ පිහිටි BYD වාහන බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙන් ආරම්භ කෙරිණි. එතැන් සිට කෙටි කලක් ඇතුළත මහනුවර, ගාල්ල, කුරුණෑගල සහ අම්පාර යන ප්‍රදේශවල පිහිටි සේවා මධ්‍යස්ථාන වෙතද මෙම පහසුකම ව්‍යාප්ත කර ඇත. නව වාහන භාරදෙන අවස්ථාවේදී මෙන්ම සියලුම සේවා මධ්‍යස්ථාන හරහාද මෙය සක්‍රීය කරදීමට BYD සමාගම අඛණ්ඩව කටයුතු කරන අතර, එමගින් දිවයින පුරා සිටින සියලුම BYD වාහන හිමියන්ට මෙම අතිනවීන තාක්ෂණය ඉතා පහසුවෙන් වැළඳගැනීමට අවස්ථාව සැලසේ.
BYD Mobile App හරහා වාහන හිමිකරු හා වාහනය අතර අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. මේ අනුව, මෙමගින් ඕනෑම ස්ථානයක සිට තම වාහනය දුරස්ථව lock කිරීමට සහ unlock කිරීමටත්, ගමන ආරම්භ කිරීමට පෙරම වාහනය තුළ වායුසමීකරණය ක්‍රියාත්මක කර සුවපහසු මට්ටමක පවත්වා ගැනීමටත්, වාහනයේ ලයිට් සහ හෝන් එක ක්‍රියාත්මක කරමින් එය නවතා ඇති ස්ථානය ක්ෂණිකව හඳුනා ගැනීමටත් වාහන හිමියන්ට හැකියාව ලැබේ. මීට අමරතව වාහනයේ බැටරි මට්ටම, ධාවනය කළ හැකි දුර ප්‍රමාණය සහ චාර්ජ් වන ආකාරය ජංගම දුරකතන තිරය ඔස්සේ නිරීක්ෂණය කළ හැකි අතර, වාහනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ක්ෂණික පණිවිඩ මගින් පාරිභෝගිකයා දැනුවත් කිරීම මෙහි තවත් විශේෂත්වයකි.
තවද BYD Mobile App හරහා වත්මන් වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයින්ගේ පහසුවට ඉහළම වටිනාකමක් හිමිවේ. එබැවින්, වාහනය කෙතරම් දුරින් තිබුණද, මේ හරහා ඒ පිළිබඳව නිරන්තර විශ්වාසදායක සන්නිවේදනයක් පවත්වා ගැනීමට වාහන හිමියන්ට හැකියාව ලැබේ. වෙහෙසකර දවසකට පසු වාහනයේ තත්ත්වය බැලීමටත්, රාත්‍රියේදී එය ආරක්ෂිතව charge වන බව තහවුරු කරගැනීමටත් පාරිභෝගිකයින්ට දැන් හැකිය. මේ අයුරින් තම වාහනය සැමවිටම තමන්ගේ ජංගම දුරකතනය හරහා පාලනය කළ හැකි බව දැනසිටීම, ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය.
Apple App Store සහ Google Play Store හරහා පාරිභෝගිකයින්ට BYD Mobile App නොමිලේ download කර BYD ගිණුමක් සකසා ගත හැකිය. තවද පාරිභෝගිකයාට නව වාහනය භාරදෙන අවස්ථාවේදී හෝ ඕනෑම BYD සේවා මධ්‍යස්ථානයක් හරහා මෙම පහසුකම සක්‍රීය කරගත හැකිය.


Video Story