September, 21, 2026
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ සහය ලබන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වන සමාලෝචනය පැවැත්වීම සහ රටේ ආර්ථික වර්ධනයන්, ප්‍රතිපත්ති සහ මූල්‍ය ස්ථාවරත්වය ඇගයීම සඳහා වූ 2026 IV වන වගන්තිය යටතේ වන උපදේශනය සඳහා මෙරටට පැමිණ සිටින එවන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou) මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සහ ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් අතර හමුවක් පවත්වා තිබේ.
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රී යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් පිරිසක් මීට එක්ව ඇති අතර ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව සහ ව්‍යාපාරික ක්ෂේත්රය මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ව දැනුවත් කර ඇති බව වාර්තා වේ.
මෙහිදී ආර්ථික වර්ධනය, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) මුහුණ දෙන අභියෝග සහ ශක්තිමත් ආරම්භක ව්‍යාපාර පද්ධති (startup ecosystems), මූල්‍ය පහසුකම් ලබා ගැනීම සහ ඩිජිටල්කරණය ඇතුළු ව්‍යාපාර වර්ධනයට අවශ්‍ය සහයෝගය පිළිබඳව වාණිජ මණ්ඩලයේ අදහස් හුවමාරු කර ගන්නා ලදී. එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම වේගවත් කිරීම, සැපයුම් ජාල බාධා, අපනයන කාර්යසාධනය සහ නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාව කලාපය තුළ තරඟකාරීත්වය වර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් වාණිජ මණ්ඩලය, වෙනස් වන තත්ත්වයන්ට අනුකූලව ප්‍රතිපත්ති සකස් විය යුතු බව ද අවධාරණය කළේය.
ව්‍යාපාරික ප්‍රජාවේ වර්ධනයන් පිළිබඳව වාණිජ මණ්ඩලයට ඇති පුළුල් අවබෝධය අගය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිත පිරිස, පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවලදී වාණිජ මණ්ඩලය ලබා දුන් අදහස්වල ඇති වැදගත්කම නැවත වරක් අගය කරන ලදී.
Video Story