මුතුරාජවෙල සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහන නළ මාර්ගයක් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව China Petroleum Pipeline Engineering Company Limited වෙත

    September, 22, 2026

    මුතුරාජවෙල ඝනමීටර 92,000ක ධාරිතාවකින් යුත් ගුවන් යානා ඉන්ධන ගබඩා ටැංකි සංකීර්ණයක් හා ඒ ආශ්‍රිත පහසුකම් ඉදි කිරීම, එම ගබඩා පහසුකම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ඉන්ධන පිරවුම් පර්යන්තයට සම්බන්ධ කරන විශේෂිත ඉන්ධන ප්‍රවාහන නළ මාර්ගයක් ඉදි කිරීම සහ මුතුරාජවෙල දැනට පවතින පර්යන්තයේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2024-07-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 03ක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

    එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වන M/s. China Petroleum Pipeline Engineering Company Limited වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 40.84ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 8,548.75ක (බදු සහිත) මුදලකට එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.