සුව නින්දකට මගපෙන්වමින් Spa Ceylon මගින් ‘Sleep Conference 2026’ කොළඹදී පැවැත්විනි

    September, 25, 2026

    Spa Ceylon ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) හා එක්ව සංවිධානය කළ ‘Sleep Conference 2026’ සුවබර නින්දක් වෙනුවන් පැවැත්වූ සමුළුව, Comfort World අනුග්‍රහයෙන් 2026 සැප්තැම්බර් 23 වන දින කොළඹදී පැවැත්විණි. “Unlocking the Power of Sleep” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ වෛද්‍ය විද්‍යාත්මක දැනුම, ප්‍රායෝගික ජීවන රටා උපදෙස් සහ සුවතා සංකල්ප එකට එක් කරමින් නින්ද පිළිබඳ පූර්ණ හා පුළුල් අවබෝධයක් ලබා දීමයි.

    මෙම වැඩසටහනට ඇතුළත් වූ SLMA Sleep Symposium අංශය මගින් නින්ද පිළිබඳ විද්‍යාත්මක පදනම, එය මතකය හා අවධානය කෙරෙහි දක්වන බලපෑම, ශරීරයේ නැවත ගොඩනැගීම හා හෝමෝන ක්‍රියාකාරීත්වය, නින්ද ආශ්‍රිත රෝගාබාධ මෙන්ම නින්ද පිළිබඳ සමාජයේ පවතින මිථ්‍යා මත පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මේ සඳහා වෛද්‍ය රුවන්ති ජයසේකර, වෛද්‍ය එස්. රිෂිකේසවන්, වෛද්‍ය අරුණි මල්වත්ත සහ වෛද්‍ය දිලේශා වදසිංහ යන වෛද්‍ය විශේෂඥයෝ සිය විද්‍යාත්මක දැනුම හා අත්දැකීම් එක් කළහ.

    මෙහි ජීවන රටා සහ සුවතා අංශය නියෝජනය කළේ Spa Ceylon සම නිර්මාතෘ, සුවතා විශේෂඥ හා සහතිකලත් Sleep Coach ශලින් බාලසූරිය සහ Comfort World සභාපති නවුෂාඩ් මොහිදීන් යන මහත්වරුන්ය. සුවබර නින්දක් උදෙසා දෛනිකව පවත්වාගත යුතු යහපත් පුරුදු, නිවැරදි නින්දේ සෞඛ්‍යාරක්ෂණය (Sleep Hygiene) සහ ඊට උචිත පරිසරයක් සකස් කරගැනීමේ ප්‍රායෝගික ක්‍රමවේද පිළිබඳව එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු කෙරිණි.

    එමෙන්ම, Sleep Tourism සහ ශ්‍රී ලංකාවට ඒ ඔස්සේ හිමිවන සුවතා සංචාරක අවස්ථා පිළිබඳ විශේෂ සංවාදයක් ශලින් බාලසූරිය මහතා සහ ජෝන් කීල්ස් සමූහයේ ගෝලීය සන්ධාන සහ හවුල්කාරිත්ව පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති මෙන්ම ආයතනික කටයුතු ප්‍රධානී දිලීප් මුදදෙණිය මහතා අතර පැවැත්විණි. සුවතාවය, ආයුර්වේදය, ආගන්තුක සත්කාරය සහ අත්දැකීම් පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය (Experiential Travel) තුළ ශ්‍රී ලංකාව සතු සුවිශේෂී ශක්තීන් ඇසුරින් රටේ සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් බලගන්වන ආකාරය ගැන එහිදී අවධානය යොමු විය.

    සුවබර නින්ද සහ සුවතාවය අතර පවතින සබඳතාව තවදුරටත් අර්ථවත් කරමින්, Spa Ceylon හි ජාත්‍යන්තර සම්මානනීය ‘Sleep Intense’ නිෂ්පාදන පෙළ පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. Ylang Ylang, Lavender සහ Patchouli වැනි ස්වාභාවික සාරයන්ගෙන් සමන්විත මෙම නිෂ්පාදන පෙළ, රාත්‍රී කාලයේ මානසික හා ශාරීරික සහනය තහවුරු කරන දෛනික රාත්‍රී විවේකී චාරිත්‍රයක් (Wind-down Ritual) ලෙස නිර්මාණය කර ඇත.