රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය ඩිජිටල් කරමින් ‘GovHR’ පද්ධතිය එළිදක්වයි

    September, 25, 2026

    රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය යාවත්කාලීන කරමින්, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රමවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ලෙස "GovHR" (Public Service Human Resource Management Information System) පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දින ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන (SLIDA) ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
    රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් දියත් කරන ලද GovHR පද්ධතිය මගින් රාජ්‍ය ආයතනවල සේවය කරන සමස්ත රාජ්‍ය සේවකයින්ගේ තොරතුරු, සේවා කළමනාකරණය සහ මානව සම්පත් පරිපාලන කටයුතු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රමවත් කරනු ලබයි. සාම්ප්‍රදායික කඩදාසි මත පදනම් වූ පද්ධති හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් සහ අකාර්යක්ෂමතාවයන් අවම කරමින්, රාජ්‍ය සේවකයින්ගේ බඳවා ගැනීම්, ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථාන මාරු, දේශීය හා විදේශීය පුහුණු, දුක්ගැනවිලි කළමනාකරණය, කාර්ය සාධන ඇගයීම් සහ විශ්‍රාම ගැන්වීම් දක්වා වූ සමස්ත මානව සම්පත් ක්‍රියාවලියම තනි මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් (Centralized System) යටතට ගෙන ඒම මෙම GovHR පද්ධතියේ ප්‍රධාන අරමුණයි.
    එමෙන්ම මෙම තොරතුරු ඊට අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන සමග ද සෘජුව සම්බන්ධ කිරීමට කටයුතු යොදා ඇත.
    මෙම පද්ධතිය මගින් සමස්ත රාජ්‍ය සේවය තුළම විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ වගවීම තහවුරු වන අතර, ආයතනික හා ජාතික ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී නිවැරදි දත්ත මත පදනම් වූ පසුබිමක් (Data-Driven Decision Making) නිර්මාණය වේ.
    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසූයේ, අද දිනය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක්තරා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන දිනයක් බවයි. මීට වසර දෙකකට පෙර මේ රටේ ජනතාව රටේ ගමන් මග වෙනස් කිරීම සඳහා තීරණාත්මක තීන්දුවක් ගත් බවත්, එම වෙනස අහම්බයක් නොව ජනතාවගේ අත්දැකීම්, අපේක්ෂාවන් සහ පැවති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සිදු වූවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
    ඩිජිටල්කරණය ඔස්සේ රට පවතින තත්ත්වයෙන් ඔසවා තැබීම සඳහා වූ වැඩපිළිවෙළෙහි පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයන් දැවැන්ත දායකත්වයක් ලබා දුන් බව අමාත්‍යවරයා එහිදී සිහිපත් කළේ ය.
    එසේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමු වූ මෙම ඩිජිටල්කරණ වැඩසටහන රජයේ ප්‍රමුඛතම වැඩසටහන් තුනෙන් එකක් ලෙස ක්‍රියාත්මක වන බව ද හෙතෙම සඳහන් කළේ ය.
    අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ, "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන, ඩිජිටල්කරණ ක්‍රියාවලිය සහ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන යන ප්‍රමුඛ වැඩසටහන් තුන සමගාමීව ඉදිරියට එන විට ඊට ආනුෂංගිකව තවත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වන බවයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා ගොඩනැගුණු මෙම වැඩසටහන ඩිජිටල්කරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට විශාල පිටුවහලක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
    රාජ්‍ය සේවයේ පවතින ලිපිගොනු පවත්වාගෙන යාමේ ගැටලු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ, රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට වැටුප් වැඩි කළ ද යම් යම් ලිපිගොනුවල පවතින අඩුපාඩු හේතුවෙන් ඇතැම් විශ්‍රාමිකයන්ට තවමත් එම ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි. විශේෂයෙන්ම ලේඛනාගාරවල පවතින පැරණි ලිපිගොනු සහ බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට පැමිණෙන ලේඛන නඩත්තු කිරීමේදී ආයතන විශාල දුෂ්කරතාවලට මුහුණ දෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නවීන තාක්ෂණයත් සමග බද්ධ වූ, වඩාත් පහසු සහ කාර්යක්ෂම පද්ධතියකට යාමේ අවශ්‍යතාව පවතින බව අවධාරණය කළේ ය.
    දැනට ලක්ෂ 12කට ආසන්න රාජ්‍ය සේවක පිරිසක් සිටින අතර මෙම වසරේදී තවත් 120,000කට වැඩි පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
    බඳවා ගැනීම් මෙන්ම විශ්‍රාම යෑමේදී ද පැනනගින ලේඛන සහ ලිපිගොනු පිළිබඳ ගැටලුවලට මෙම GovHR ඩිජිටල් පද්ධතිය හරහා සාර්ථක විසඳුමක් ලැබෙන අතර, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම මහජනතාවට අවශ්‍ය සේවාවන් වඩාත් හොඳින් ලබා ගැනීමට ද මෙය ඉමහත් පිටුවහලක් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    ඕනෑම අලුත් වැඩක් ආරම්භ කිරීමේදී යම් දුෂ්කරතා මතුවීම ස්වභාවික බවත්, එම දුෂ්කරතා ජය ගැනීම සියලු දෙනාගේම සාමූහික වගකීම බවත් සඳහන් කළ අමාත්‍යවරයා, ජනතාව අපේක්ෂා කළ "System Change" එක (ක්‍රම වෙනස) පද්ධතිය ඇතුළෙන්ම සිදු කරගනිමින්, ඒ වෙනසට අනුගතව කටයුතු කිරීමට එක්වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියේ ය.
    මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝකබණ්ඩාර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ හා ක්‍රමසම්පාදන අතිරේක ලේකම් ශාන්ත වීරසිංහ යන මහත්වරුන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම රාජ්‍ය දෙපාර්තමේන්තු හා ආයතනවල ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.