වැඩ 8කට නොවැම්බර් 01 සිට TIN අංකය අනිවාර්යයි

    September, 25, 2026

    2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනතින් හඳුන්වා දෙන ලද විධිවිධානවලට අනුකූලව දේශීය ආදායම් පනතේ 102(3) වන වගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇති සෑම තැනැත්තෙකුම 2026 නොවැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත නිශ්චිතව දක්වා ඇති කාර්යයන් සිදුකිරීමේ දී වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත දැනුම් දී සිටී.

    අදාළ කාර්යයන් පහත පරිදි වේ,

    1. යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම.
    2. ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම.
    3. මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම.
    4. මෝටර් වාහන බලපත්‍රය අලුත් කිරීම.
    5. ඉඩමක් මෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම.
    6. ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම.
    7. ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම, පැවරුම්ලාභියකු සහ පැවරුම්කරුවක් විසින් සිදුකරන විට.
    8. ණය කාඩ්පතක් ලබා ගැනීම.

    ඉහත සඳහන් කාර්යයන් ක්‍රියාත්මක කිරීමට හෝ සම්පුර්ණ කිරීමට පෙර, අදාළ තැනැත්තා විසින් වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කර තිබෙන බවට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් තමන් වෙත නිකුත් කර ඇති චක්‍රලේඛය ප්‍රකාරව තහවුරු කර ගන්නා ලෙසට නියම කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.