Effie සහ SLIM DIGIS හි නිල බැංකු සහකරු ලෙස HNB, SLIM සමඟ අත්වැල් බැඳගනී

    September, 25, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන සම්මාන උළෙල ද්විත්වයක් වන Effie Awards Sri Lanka 2026 සහ SLIM DIGIS 2.6 සඳහා නිල බැංකු සහකරු ලෙස එක් විය.

    මෙම හවුල්කාරිත්වය යටතේ, මෙම සම්මාන උළෙල ද්විත්වයේම නිල බැංකුකරු ලෙස කටයුතු කිරීමේ සුවිශේෂී අනුග්‍රාහකත්ව සහ සන්නාමකරණ අයිතිය HNB බැංකුව සතු වේ. මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් දිනාගත් මෙම සම්මාන උළෙලයන් හරහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින්, අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, ව්‍යවසායකයින් සහ ආයතනික වෘත්තිකයින් සමඟ සමීපව කටයුතු කිරීමට HNB හට අවස්ථාව හිමි විය.

    Effie Awards සහ SLIM DIGIS සම්මාන උළෙලයන් මෙරට අලෙවිකරණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෘත්තිකයින් හට තමන්ගේ සාර්ථක නිර්මාණයන් ප්‍රදර්ශනය කිරීමටත්, ඒ වෙනුවෙන් ඇගයීමට පාත්‍ර වීමටත් ජාතික මට්ටමේ වේදිකාවක් නිර්මාණය කර දෙයි. එමෙන්ම, මෙය සමස්ත ක්ෂේත්‍රයේම ප්‍රමිතීන් ඉහළ නැංවීමට ද ඉවහල් වේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් HNB උප සභාපති - අලෙවි සහ ආයතනික සන්නිවේදන උපුල් අධිකාරී මහතා පැවසුවේ, HNB සන්නාමයේ පරිවර්තනීය ගමන හරහා පැහැදිලි අරමුණක් සහිත උපාය මාර්ග, අර්ථවත් පාරිභෝගික අත්දැකීම් සහ සාර්ථක අලෙවිකරණයේ ඇති වැදගත්කම බැංකුව මැනවින් වටහාගෙන ඇති බවයි. එබැවින්, වඩාත් ශක්තිමත් සන්නාමයක් ගොඩනැඟීමට කැප වූ බැංකුවක් ලෙස, මෙවැනි ජාතික මට්ටමේ වේදිකාවන් සඳහා HNB අඛණ්ඩව දායකත්වය සපයන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.