September, 29, 2026
NDB බැංකුවේ සිදුව ඇති මූල්‍ය වංචා සිදුවීම සම්බන්ධයෙන් Deloitte Touche Tohmatsu India LLP ("Deloitte") ආයතනය විසින් සිදුකරන ලද ස්වාධීන වෝහාරික විගණන පරීක්ෂණයේ අවසන් වාර්තාව ලැබී ඇති බව බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
එම අවසන් වාර්තාවට අනුව, සිදු වී ඇති සමස්ත මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් 13,639,664,684 ක් (දළ වශයෙන් රුපියල් බිලියන 13.64 ක්) ලෙස තහවුරු කර තිබේ. මෙය 2026 ජූනි 26 වන දින නිකුත් කරන ලද අතුරු වාර්තාව මගින් අනාවරණය කළ රුපියල් 13,579,664,684 ක මුදලට වඩා රුපියල් 60,000,000 ක (රු. මිලියන 60 ක) අතිරේක වැඩීවීමකි. මෙම අතිරේක රුපියල් මිලියන 60 ක මුදල අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව බැංකු ගිණුම්වල සටහන් කිරීමට කටයුතු කරනු ඇත.
අවසන් වෝහාරික වාර්තාව මගින් අදාළ වංචාවේ මූල්‍ය බලපෑම කාලපරිච්ඡේද තුනක් යටතේ නැවත වර්ගීකරණය කර දක්වා ඇත:
ඒ අනුව, 2026 අප්‍රේල් 6 වන දින බැංකුව විසින් ප්‍රකාශිත මුල් අභ්‍යන්තර තක්සේරුව වූ රුපියල් බිලියන 13.20 ක ප්‍රමාණය, Deloitte අවසන් වාර්තාව මගින් රුපියල් බිලියන 13.64 ක් දක්වා සංශෝධනය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් හා නිර්දේශ මත Deloitte ආයතනය වෙත මෙම පරීක්ෂණය පවරන ලද අතර, එහි ස්වාධීනත්වය සුරැකීම සඳහා වාර්තාව සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කර පිටපතක් NDB බැංකුව වෙත ලබා දී තිබේ.
Deloitte සොයාගැනීම් බැංකුවේ අභ්‍යන්තර විමර්ශන නිගමන සමග සාමාන්‍යයෙන් එකඟ වන බව NDB බැංකුව සඳහන් කරයි. අදාළ වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත වාර්තා කර ඇති අතර, අධිකරණයේ නඩු කටයුතු පවත්වාගෙන යනු ලැබේ. තවද, සොරකම් කරන ලද මුදල් සහ ඩිජිටල් වත්කම් සොයාගැනීම සඳහා විශේෂිත වූ විදේශීය නියෝජිත ආයතනයක සහාය ලබා ගැනීමටද බැංකුව කටයුතු කරමින් සිටී.
අභ්‍යන්තර වශයෙන්, වංචාවට අනුබල දීම, අධීක්ෂණයේ පැහැර හැරීම් සහ පාලනමය අඩුපාඩු සම්බන්ධයෙන් වගකිව යුතු බවට හඳුනාගත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට එරෙහිව සුදුසු අභ්‍යන්තර විනය පියවර ගනිමින් පවතී. පාලනමය අඩුපාඩු, තාක්ෂණික දෝෂ සහ ආයතනික පාලනයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම පිළිබඳ Deloitte වාර්තාවේ දැක්වෙන නිර්දේශ බැංකුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින අතර, ඒ පිළිබඳව මහ බැංකුව නිරන්තරයෙන් දැනුවත් කරයි.
මෙම වංචා සිදුවීම හේතුවෙන් කිසිදු ගනුදෙනුකරුවෙකුට මූල්‍යමය හානියක් සිදු වී නොමැති බවත්, ඔවුන්ගේ සියලුම ගිණුම් සුරක්ෂිතව පවතින බවත් NDB බැංකුව නැවත තහවුරු කරයි. එමෙන්ම, බැංකුව ප්‍රමාණවත් ප්‍රාග්ධනයකින් සහ යහපත් ද්‍රවශීලතා මට්ටමකින් යුක්තව ශක්තිමත්ව පවතින බවද ප්‍රකාශ කර ඇත.
Video Story