SLIIT International සහ Liverpool John Moores University එක් වී නව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් කොළඹදී විවෘත කරයි

    September, 29, 2026

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ එක්සත් රාජධානියේ Liverpool John Moores University (LJMU) එක්ව ආරම්හ කළ SLIIT International නව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත විය. මෙම මධ්‍යස්ථානය අංක 17, ඩික්මන්ස් පාර, කොළඹ 04 යන ස්ථානයේ පිහිටා තිබේ.

    දශකයකට අධික සහයෝගීත්වයක තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම මධ්‍යස්ථානය, ශ්‍රී ලාංකික සිසුන්ට එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන සුදුසුකම් මෙරටදීම හිමිකර ගැනීමට අවස්ථාව ලබාදෙයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ LJMU උපාධි පාඨමාලා පැවැත්වීම සඳහාම වෙන් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන මධ්‍යස්ථානය මෙය වීමය.

    නව මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා සහභාගී වූ අතර, SLIIT, Liverpool John Moores University සහ British Council යන ආයතනවල මෙන්ම අධ්‍යාපන හා වෘත්තීය ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක්ද ඊට එක්ව සිටියහ.

    පසුගිය දශකයක කාලය තුළ SLIIT - LJMU සහයෝගීත්වය යටතේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන සුදුසුකම් හිමිකරගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 1,500 කට අධිකය. ගෝලීය මට්ටමේ පහසුකම් සහිත මෙම නව අධ්‍යාපන මධ්‍යස්ථානය, ශ්‍රී ලාංකික සිසුන්ට මෙරටදීම එක්සත් රාජධානියේ අධ්‍යාපන සුදුසුකම් හිමිකර ගැනීම තවදුරටත් පහසු කරනු ඇත. එමෙන්ම මෙය දැනට ක්‍රියාත්මක වන උසස් අධ්‍යාපන පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමට, නවෝත්පාදන සිදුකිරීමට, අධ්‍යාපනික සහයෝගීතාවන් වර්ධනය කිරීමට සහ පර්යේෂණ අවස්ථා පුළුල් කිරීමටද උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLIIT හි උපකුලපති, කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය:

    “Liverpool John Moores University සමඟ එක් වී SLIIT International ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානය ආරම්භ කිරීම, Liverpool John Moores University සමඟ අප දශකයකට වැඩි කාලයක් පටන් පවත්වාගෙන යන දීර්ඝකාලීන සහයෝගීතාවක තවත් සුවිශේෂී පරිච්ඡේදයක් සනිටුහන් කරනවා. ශ්‍රී ලංකාවේ සිසුන්ට මෙරට තුළදීම ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් මෙන්ම, දිනෙන් දින වඩාත් අන්තර්-සම්බන්ධිත වන ලෝකයක් තුළ සාර්ථක වීමට අවශ්‍ය ගෝලීය දැක්ම, විචාරාත්මක චින්තන හැකියාව, වෘත්තීය නිපුණතා සහ අත්දැකීම් පිරිනැමීම අපගේ අරමුණයි. මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා විවෘත කරන ලද මෙම නව මධ්‍යස්ථානය, සිසුන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදෙන අතරම, LJMU සහ අප අතර පවතින සමීප සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවට සැකයක් නැහැ.”

    Liverpool John Moores University හි සමාජ හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ (Faculty of Society and Culture) සහකාර උපකුලපති මහාචාර්ය තිමති නිකෝල් මහතා මෙසේ පැවසීය:

    “ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට LJMU උපාධි පාඨමාලා සඳහාම වෙන් වූ මධ්‍යස්ථානයක් විවෘත කිරීම, අපගේ විශ්වවිද්‍යාලයට මෙන්ම SLIIT සමඟ පවතින අපගේ සහයෝගීතාවටද බෙහෙවින් වැදගත්. එය මෙම එකමුතුවේ ශක්තිය මෙන්ම, ශ්‍රී ලාංකික සිසුන්ට උසස්ම මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් හා පහසුකම් පිරිනැමීම සඳහා දෙපාර්ශ්වය දරන පොදු කැපවීමද පිළිබිඹු කරනවා. ඉදිරියේදී මෙම නව මධ්‍යස්ථානය හරහා අපට අධ්‍යාපනික සහයෝගීතාව, නවෝත්පාදනය, පර්යේෂණ කටයුතු සහ ශිෂ්‍ය ක්‍රියාකාරකම් සඳහා නව අවස්ථා රාශියක් උදාවේවි.”

    නව මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන අංගයක් වූයේ “දේශසීමාවලින් ඔබ්බට: ගෝලීය වශයෙන් තරගකාරී උපාධිධාරීන් බිහිකිරීමේදී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනයේ කාර්යභාරය” (‘Beyond Borders: The Role of British Higher Education in Developing Globally Competitive Graduates.’) යන මාතෘකාව යටතේ පැවැත්වුණු සංවාදමය වැඩසටහනයි. ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථා වර්ධනය වීම, අනාගතයේදී එක්සත් රාජධානියේ උපාධි පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව, එක්සත් රාජධානියේ සුදුසුකම්වල ගුණාත්මකභාවය හා විශ්වාසනීයත්වය පවත්වා ගැනීම, ගෝලීය නිපුණතාවලින් සන්නද්ධ සහ අනාගත අභියෝගවලට සූදානම් උපාධිධාරීන් බිහිකිරීම සහ උපාධිධාරීන්ගේ රැකියා නියුක්තිය සඳහා ජාත්‍යන්තර උසස් අධ්‍යාපනය මඟින් ඉටු වන කාර්යභාරය යනාදිය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි. මෙම සංවාදයට මහාචාර්ය ලලිත් ගමගේ, මහාචාර්ය තිමති නිකෝල්, British Council නියෝජිත සජීව මීපගේ සහ SLIIT අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය හර්ෂ කබ්රාල් යන මහත්වරු සහභාගී වූහ.

    නීතිය, ව්‍යාපාරකරණය, මනෝවිද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු ක්ෂේත්‍රවල මතුවෙමින් පවතින ප්‍රවණතා පිළිබඳවද මෙම සංවාදමය වැඩසටහන තුළදී විශේෂ අවධානයක් යොමු විය. එමෙන්ම, ගෝලීය  ප්‍රමිතීන්ට අනුකූල අධ්‍යාපන සුදුසුකම් මෙරට සිසුන් වෙත පිරිනැමීම ඔස්සේ  එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය තුළින් ශ්‍රී ලංකාවේ යහපත උදෙසා ඉටු වන මෙහෙවරද ඔවුහු අවධාරණය කළහ.

    මීට අමතරව SLIIT–LJMU හවුල්කාරීත්වයේ ඉතිහාසය සහ එහි අනාගත දිශානතිය, නව SLIIT International මධ්‍යස්ථානයේ ක්‍රමෝපායික වැදගත්කම, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, උපාධිධාරීන්ගේ රැකියා නියුක්තිය සහ ශ්‍රී ලංකාව තුළ LJMU පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

    මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා විශේෂ දේශනයක් පැවැත්වූ අතර, ඉන් අනතුරුව British Council Sri Lanka හි මෙරට අධ්‍යක්ෂිකා ක්ලෙයාර් සියර්ස් මහත්මියද අදහස් දැක්වූවාය. SLIIT International සහ Liverpool John Moores University අතර සහයෝගීත්ව ගිවිසුම සංකේතාත්මකව හුවමාරු කරගැනීමද එදින සිදුකෙරිණි. මෙය ආයතන දෙක අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමක් මෙන්ම, ශ්‍රී ලාංකික සිසුන් සඳහා පවතින ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශ්වය දක්වන අඛණ්ඩ කැපවීම යළි තහවුරු කිරීමක්ද විය.

    SLIIT ආයතනය LJMU සමඟ එක් වී SLIIT International මධ්‍යස්ථානය ආරම්භ කිරීම, දෙපාර්ශ්වය අතර පවතින දීර්ඝකාලීන සහයෝගීතාවෙහි නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කිරීමක් ලෙස හැඳින්විය හැක. එමෙන්ම එය මෙරට සිසුන්ට ජාත්‍යන්තර තලයේ උසස් අධ්‍යාපන සුදුසුකම් පිරිනැමීම සඳහා දෙපාර්ශ්වය දක්වන කැපවීම මැනැවින් පිළිබිඹු කරන අතර, නව මධ්‍යස්ථානය හරහා නව ලොවට ගැළපෙන තරගකාරී දැනුමින් හා කුසලතාවලින් පිරිපුන් උපාධිධාරීන් පිරිසක් බිහිකිරීම දෙපාර්ශ්වයේ අරමුණ වී තිබේ.