2026 සැප්තැම්බරයේ දී මහ බැංකුව ඩොලර් ගනුදෙනු කළේ මෙහෙමයි. අගෝස්තුවේ බිලියන භාගයකට වඩා ඩොලර් ගන්න හේතුවත් අධිපති හෙළිකරයි

    October, 5, 2026

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 සැප්තැම්බර් මාසයේ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 64.2ක් ශුද්ධ විශයෙන් මිල දී ගත් බව සඳහන් කරයි. එහිදී මහ බැංකුව සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 85ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 20.8ක් අලෙවි කර තිබේ.

    මේ අතර 2026 අගෝස්තු මාසයේ දී ඩොලර් මිලියන 579ක දැවැන්ත මිල දී ගැනීමක් සිදුකරමින් මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වී තිබුණි. අගෝස්තු මාසය තුළ දී ශ්‍රී ලංකා රුපියලේ අතිප්‍රමාණය වීමක් සිදුවෙමින් පැවති පසුබිම තුළ, ඩොලරය පහළට එන වාතාවරණයක දී මෙයාකාරයෙන් විශාල ඩොලර් මිල දී ගැනීමක් සිදුකළේ කුමන අරමුණකින් ද යන්න, අද දෙරණ Business විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසීමක් කරන ලදී.

    එහිදී ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    “අපි (මහ බැංකුව) කරන්නේ අනවශ්‍ය ලෙස උච්ඡාවචනය වීම් වැළැක්වීම. අපි දෙපැත්තෙන්ම ඒකට මැදිහත් වෙනවා. ජූලි මාසයේ දී අපේ සංචිතවලින් කොටසක් වෙළෙඳපොළට දීලා ස්ථාවර කළා, ලොකුවට උච්ඡාවචනය වෙන්න දෙන්නේ නැතුව. උච්ඡාවචන අඩු කරන්නත් ඕනේ, සංචිත ගොඩනගන්නත් ඕනේ. ඒ අරමුණ දෙක අනුව යම්කිසි ආකාරයෙන් උච්ඡාවචනය අඩුකිරීමට අපි (මහ බැංකුව) මැදිහත් වෙනවා. එක එක කාලයට අනුව වෙළෙඳපොළේ තියෙන විදේශ විනිමය ද්‍රවශීලතාවය අනුව එය වෙනස්වෙනවා. අගෝස්තු මාසයේ දී විශාල වශයෙන් අපිට ලැබුණා, ඒ අවස්ථාවේ දී වෙළෙඳපොළේ විදේශ විනිමය තිබුණා. එහිදී අපි සංචිත ගොඩනගන අතරතුර විනිමය අනුපාතය ස්ථාවරව පවත්වාගෙන ගියා.“

    පසුගිය (30) දා පැවති ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මහ බැංකු අධිපතිවරයා මේ අදහස් දැක්වීම සිදුකළේය.