Sierra Construction Ltd වෙත ජපන් යෙන් මිලියන 600ක හා ශ්‍රී ලංකා රු. බිලියන 1.76ක ජල සම්පාදන කොන්ත්‍රාත්තුවක්

    October, 7, 2026

    ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර II යටතේ ඝනමීටර 250ක ධාරිතාවකින් යුත් උස් ජල කුලුනක් ඉදි කිරීම සහ ජල සම්බන්ධතා 17,000කට ජලය ලබා දෙන කිලෝමීටර 425ක් දිගැති නළ ජාලයක් ආවරණය කරමින් මැදවච්චිය සහ රඹෑව යන ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලබා දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සැලසුම් කර ඇත. ඒ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස 2022 වර්ෂයේදී ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ එකඟතාව සහිතව ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ.

    එහෙත්, මෙරට පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එකී ප්‍රසම්පාදනයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. නැවත ලංසු කැඳවීම සඳහා ගත වන කාලය සැලකිල්ලට ගෙන මේ වන විට ඉදිරිපත් වී ඇති ලංසු සමඟ එම ප්‍රසම්පාදනයේ ඉදිරි කටයුතු සිදු කරන ලෙසත්, අදාළ විධිවිධාන පරිදි මිල ගැලපීම් සිදු කරන ලෙසත්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය විසින් යෝජනා කරනු ලැබ තිබේ.

    ඒ අනුව, ලංසු සුරක්ෂණවල කාලය දීර්ඝ කිරීමට එකඟතාව පළ කරන ලද ලංසුකරුවන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Sierra Construction Ltd. වෙත ජපන් යෙන් මිලියන 600.11ක මුදලකට සහ ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.76ක මුදලකට එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.