October, 8, 2026
මෑත කාලය තුළ කොටස් වෙළෙඳපොළේ දක්නට ලැබුණු තනි දවසක් තුළ විශාලතම මිල දර්ශකවල පහළ යාම අද (08) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 283.21ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළ අතර එය පෙර දිනය හා සැසඳීමේ දී 1.38%ක කඩාවැටීමක් වේ. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,234.34 ක් ලෙසින් දැකුවුණු අතර එය 2025 අගෝස්තු 15 දිනෙන් පසු, දිනයක් තුළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ පහළම අගය වේ.
S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 53.84ක පහළ යාමක් වාර්තා කරමින් ගනුදෙනු අවසානයේ දී ඒකක 5,762.56ක් ලෙසින් දැක්වුණි.
අද දින රු. බිලියන 2.74ක සාපේක්ෂව ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. ප්රධාන වශයෙන් රු. බිලියන 1.05ක ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමේ ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනුවක් ඒ සඳහා ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.
දිනය තුළ සමාගම් 183ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබුණු අතර ඩිස්ටිලරීස්, ඩයලොග් ආසියාටා, කාර්සන්ස්, HNB සහ හේමාස් හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට දැඩි ලෙස බලපා තිබුණි. දිනය තුළ මිල ඉහළ ගොස් තිබුණේ සමාගම් 23ක පමණි.

Video Story