ශ්‍රී ලංකාවේ පාරිභෝගික රටාව වෙනස් වෙයි. නිෂ්පාදන සෙවීමට ChatGPT, Gemini වෙත යොමු වීම ඉහළට

    October, 8, 2026

    ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්‍රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්‍ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත.

    ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්‍යයනයකට අනුව, 66%ක ප්‍රතිශතයක් කටවචනයෙන් (Word of mouth) පැතිරෙන තොරතුරු  තවමත් ප්‍රබලතම විශ්වාසනීය මූලාශ්‍රය ලෙස සැලකුව ද, YouTube සහ සමාජ මාධ්‍ය වේදිකාවන් සාම්ප්‍රදායික සෙවුම් යන්ත්‍ර (Search engines) මෙන් දෙගුණයක බලපෑමක් (2x) භාණ්ඩ ගවේෂණයේ දී ඇති කරයි.

    ඊට අමතරව, Generative AI (GenAI) තාක්ෂණය පාරිභෝගිකයින් භාණ්ඩ තෝරාගන්නා නව මානයක් ලෙස වේගයෙන් නැගී එයි. මෙරට පාරිභෝගිකයින්ගෙන් 55%ක් GenAI මෙවලම් පිළිබඳ දැනුවත්භාවයක් දක්වන අතර, 18%ක් ChatGPT, Copilot සහ Gemini වැනි යෙදවුම් සක්‍රීයව භාවිතා කරති. GenAI භාවිතා කරන්නන් අතුරින් 3 දෙනෙකුගෙන් එක් අයෙකු (33%) සන්නාම සහ නිෂ්පාදන පිළිබඳ තොරතුරු සොයා ගැනීමටත්, නිර්දේශ ලබා ගැනීමටත් AI භාවිතා කිරීම විශේෂත්වයකි. මෙම ප්‍රවණතාවය යොවුන්, නාගරික සහ ඉහළ ආදායම්ලාභී කාණ්ඩ අතර වඩාත් කැපී පෙනේ.

    මෙම ලිපිය Boston Consulting Group (BCG) සහ ලංකා වාණිජ මණ්ඩලය එක්ව ප්‍රකාශයට පත්කළ "The Changing Path to Purchase in Sri Lanka" (2026 ඔක්තෝබර්) පර්යේෂණ වාර්තාව ඇසුරින් සකස් කර ඇත. දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි පාරිභෝගිකයින් 2,272 දෙනෙකු ඇසුරින් සිදුකළ මෙම අධ්‍යයනය මගින් ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස්වන පාරිභෝගික හැසිරීම්, ඩිජිටල් භාවිතය සහ මිලදී ගැනීමේ තීරණ පිළිබඳව සවිස්තරාත්මක විශ්ලේෂණයක් සපයයි.