ජා-ඇල අලුතින් විවෘත වූ FOTON සේවා මධ්‍යස්ථානය සමගින් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අලෙවියෙන් පසු සේවාව තවදුරටත් ශක්තිමත් කරයි

    October, 12, 2026

    ශ්‍රී ලංකාවේ වාණිජ වාහන ක්ෂේත්‍රයේ විශ්වාසනීය පැවැත්ම තහවුරු කරමින්, FOTON වාහන හිමිකරුවන්ට කඩිනම් සහ ගුණාත්මක සේවාවක්

    ශ්‍රී ලංකාවේ FOTON වාහන සඳහා වන එකම බලප්‍රාප්ත නියෝජිතයා වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම (Indra Traders Pvt Ltd), විසින් සිය පාරිභෝගිකයින් වෙත සැපයෙන අලෙවියෙන් පසු සේවාව තවදුරටත් පුළුල් කරමින් අති නවීන FOTON සේවා මධ්‍යස්ථානයක් ජා-ඇල ප්‍රදේශයේදී නිල වශයෙන් විවෘත කරන ලදී.

    වාණිජ වාහන හිමිකරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට තම වාහන අලුත්වැඩියාව සඳහා ගතවන කාලය අවම කරගැනීම සෘජුවම නිෂ්පාදනයට සහ ආදායමට බලපානු ලබයි. එම අවශ්‍යතාව මැනවින් හඳුනාගනිමින් විවෘත කළ මෙම නව ජා-ඇල සේවා මධ්‍යස්ථානය මඟින් වාහන නඩත්තුව, අලුත්වැඩියාව, පරි පරික්ෂාව (Diagnostics), FOTON නිල අමතර කොටස් ලබාදීම සහ පුහුණුවලත් තාක්ෂණික ශිල්පීන්ගේ සහාය ඇතුළු සියලු පහසුකම් එකම වහලක් යටින් ලබාගත හැකිය.

    මේ වන විට ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් FOTON මෙට්‍රෝ බස් රථ 114 ක් සපයා ඇති ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම, මෙරට ධාවනය වන FOTON වාහන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ඊට ගැළපෙන යටිතල පහසුකම් නැංවීමට අඛණ්ඩව ආයෝජනය කරයි.

    2006 වසරේදී ආරම්භ වූ FOTON සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අතර දීර්ඝකාලීන සහයෝගිතාවයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සේවා මධ්‍යස්ථානය, වාහනයක් අලෙවි කිරීමට පමණක් සීමා නොවී, වාහනයේ සමස්ත භාවිත කාල සීමාව පුරාම පාරිභෝගිකයාට විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවක් සැපයීමට සමාගම දක්වන කැපවීම විදහා දක්වයි.

    මෙහිදී අදහස් දැක්වූ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුෂන්ක සිල්වා මහතා, "ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම චීනයේ Foton සමාගමත් සමග ගිවිසුම්ගත වෙන්නේ 2006 වසරේදී. මේ වනවිට වසර 20කට ආසන්න කාලයක් ගත වෙනවා. අප මෙරට වෙළෙඳපොළට ගැලපෙන වාහන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කරලයි 2008 වසරේදී ප්‍රථම Foton වාහනය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ. එදා අප හඳුන්වා දුන් Foton ට්‍රක් රථ මාදිලි, විශේෂයෙන්ම Foton ඩබල් ට්‍රක් රථය අදටත් පාරිභෝගිකයන් අතර ඉහළ ජනප්‍රියත්වයක පවතින්නේ අප සැලසූ අලෙවියෙන් පසු විශිෂ්ට සේවය සහ අමතර කොටස් නිසි ලෙස ලබාදීම නිසයි.

    දශක පහක පාරිභෝගික විශ්වාසය දිනූ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම ලෙස ජා-ඇල මෙම ස්ථානය අප ආරම්භ කිරීමට කටයුතු විශාල වාහන සඳහා සේවා සැපයීම අරමුණු කරගෙනයි. ඉදිරියේදී එවැනි විශාල වාහන හඳුන්වාදීමට අප කටයුතු සූදානම් කර තිබෙනවා. එම වාහන  මීටර් 12ක් දක්වා විශාල වාහනයි. එවැනි වාහන සඳහා සේවා සැපයිය හැකි විශාල ඉඩකඩක අවශ්‍යතාව සපුරාලීමටයි අප මෙම සේවා ස්ථානය ආරම්භ කළේ. මීට අමතරව කැලණිය ප්‍රදේශයේත් තවත් අලෙවි මධ්‍යස්ථානයක් විවෘත වීමට නියමිත අතර, දැනටමත් රුපියල් මිලියන 200කට අධික වටිනාකමින් යුතු අමතර කොටස් තොග අප සතුව පවතිනවා. අපගේ මූලික විශ්වාසය වන්නේ වාහනයක් අලෙවි කිරීමෙන් පසු හොඳ අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමයි."

    ඡායාරූප සටහන: ඉන්ද්‍රා සමූහ ව්‍යාපාරයේ සභාපති ඉන්ද්‍රා සිල්වා මහතා, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුෂන්ක සිල්වා මහතා, සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා සජිනි සිල්වා මහත්මිය පීත්ත පටිය කපා, නව FOTON සේවා මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කළ අයුරු.