October, 12, 2026
NDB බැංකුවේ රු. බිලියන 13.2ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම බැංකුවට, එහි අධ්‍යක්ෂවරුන්ට සහ බාහිර විගණකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවසර ඉල්ලා එහි සුළුතර කොටස්කරුවකු වන එම්. ත්‍යාගරාජා මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම කොළඹ වාණිජ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
වාණිජ මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා විසින් ඔක්තෝබර් 09 වැනිදා මෙම නියෝගය නිකුත් කර ඇති අතර, අදාළ නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නීතිමය කොන්දේසි සපුරා නොමැති බව අධිකරණය සඳහන් කර ඇත.
අදාළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් බැංකුවේ ආයතනික පාලනය, අභ්‍යන්තර පාලන ක්‍රමවේද සහ බැංකුවේ අධ්‍යක්ෂවරුන්ගේ හා බාහිර විගණකවරුන්ගේ වගකීම් පිළිබඳව පෙත්සම්කරු විසින් කරුණු ඉදිරිපත් කර තිබිණි.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය හා අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමට NDB බැංකුව දැනටමත් සිය අභිප්‍රාය ප්‍රකාශ කර ඇති බව අධිකරණය නිරීක්ෂණය කර තිබේ.
එමෙන්ම, සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා බැංකුව විසින් විශේෂ වෝහාරික විගණනයක් (Forensic Audit) ආරම්භ කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව අධිකරණයේ අවධානයට ලක්ව ඇත.
මෙවැනි පසුබිමක් තුළ බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයෙන් ස්වාධීනව පෙත්සම්කරුට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට අවසර ලබාදීම සාධාරණීකරණය කළ හැකි ප්‍රමාණවත් හේතු ඉදිරිපත් වී නොමැති බව අධිකරණය නිරීක්ෂණය කර තිබේ.
ඒ අනුව, අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට වාණිජ මහාධිකරණය නියෝග කර ඇති අතර, ඊට අදාළ නඩු ගාස්තු ගෙවීමට ද පෙත්සම්කරුට නියම කර ඇත.
Video Story