ශ්‍රීලංකන් ගුවන් යානා තුළ Samsung Note7 රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම්

    October, 18, 2016

    ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි Samsung Note7 ජංගම දුරකථන ශ්‍රීලංකන් සහ මිහින් ලංකා ගුවන් යානාවන් හි රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

    මෙම තහනම පනවා ඇත්තේ මෙම උපාංග විදුලි බලය හා සම්බන්ධ වීමේ දී වාර්තා වූ පිපිරීම් සිද්ධීන් කිහිපයක් පදනම් කරගනිමින් ය.

    ගුවන් මගීන්ගේ ආරක්ෂාව ගුවන් සමාගමේ ප්‍රධානම ප්‍රමුඛතාවය වන හෙයින් ගුවන් මගීන්ට මෙම උපාංග ගුවනේ රැගෙන යාම සහ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස උපදෙස් ලබාදී ඇති අතර මේ සඳහා ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ සහාය ද ගුවන් මගීන්ට ලබාදී ඇත.

    ගුවන් සමාගම විසින් මෙම සම්පූර්ණ තහනම පැනවීමත් සමග පිරික්සුම් කවුන්ටර වල පොස්ටර් ඇතුළු ගුවන් ගත වීමට පෙර ලබාදෙන නිවේදන හරහා ගුවන් මගීන් මේ පිළිබදව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.