ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

    October, 19, 2026

    ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්‍රියාත්මක කරමින් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය විධිමත් ලෙස නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය.
    ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කෙරිණි.
    ක්ෂුද්‍රමූල්‍ය සහ ණය දීමේ ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා සම්මත කරන ලද පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. අවිධිමත් ලෙස අධික පොලී අය කරමින් ජනතාව පීඩාවට පත් කරන ණය දෙන ආයතන පාලනය කිරීම මෙන්ම විධිමත් ලෙස ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා සාධාරණ නියාමන පරිසරයක් සකස් කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී.
    මෙහිදී ක්ෂුද්‍රමූල්‍ ව්‍යාපාර කටයුතු සිදු කරන ආයතනවලට බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය,පනතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් පවතින නීතිමය හා ප්‍රායෝගික ගැටලු, තැන්පතු ලබා ගැනීමේ සීමා සහ අරමුදල් පිරිවැය පිළිබඳව සාකච්ඡා වූ අතර, දැනට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කිරීම, නියාමනයකට යටත්ව සීමිත මහජන තැන්පතු ලබා ගැනීමට අවස්ථාව සැලසීම සහ අඩු පිරිවැය අරමුදල් වෙත ප්‍රවේශය ලබාදීම සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කෙරිණි.
    එමෙන්ම, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවලින් ලැබෙන සහනදායී අරමුදල් නියාමනය වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙත ලබා දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම තුළින් ණය පොලී අනුපාත පහළ දැමීමට හැකි ආකාරය පිළිබඳවද අවධානය යොමු විය.
    පනතේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධ වගන්ති ක්‍රියාත්මක කිරීම, නියාමන අධිකාරිය පිහිටුවීමට ගතවන කාලය සහ ආයතනවලට බලපත්‍ර ලබාගැනීම සඳහා ලබා දී ඇති කාලසීමාව පිළිබඳවද සාකච්ඡා කෙරිණි.