ඇස්බැස්ටෝස් තහනම යළි සලකා බලන්නැයි රුසියාවෙන් ඉල්ලීමක්

    October, 21, 2016

    යෝජිත ඇස්බැස්ටෝස් තහනම, යළි සලකා බලන ලෙස රුසියාව විසින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගියදා පැවති ශ්‍රී ලංකා - රුසියා ව්‍යාපාරික කවුන්සිල හමුවේ දී මෙරට රුසියානු තානාපති ඇලෙක්සැන්ටර් කාර්චවා විසින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය දෙරට අතර සබඳතා කෙරෙහි ද බලපෑ හැකි බවයි.

    රුසියාව ලොව විශාලතම ක්‍රිසොටයිල් ෆයිබර් අපනයනකරුවකු වන අතර, එය ඇස්බැස්ටෝස් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්‍රධානතම අමුද්‍රව්‍ය වේ. ශ්‍රී ලංකාව මේ වන විට රුසියවේ ප්‍රමුඛතම ක්‍රිසොටයිල් ෆයිබර් ආනයනකරුවකු වේ.

    පසුගිය දා අනුමත කරනු ලැබූ කැබිනට් යෝජනාවකට අනුව 2018 වසර වන විට මෙරටට ඇස්බැස්ටෝස් ආනයනය සීමා කිරීමටත්, 2024 වන විට ඇස්බැස්ටෝස් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් තීරණය කෙරිණි.

    මේ සම්බන්ධයෙන් මෙරට ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදකයන්ගේ සංගමය ද පසුගිය ද මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේ, රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් නැවත වරක් සලකා බලන ලෙස ඉල්ලා සිටින බවයි.