පෑන්ඒෂියන් පවර් බහුතර කොටස් අයිතියි සෙන්තිල්වේල් අත්පත් කර ගනී

    October, 24, 2016

    පෑන්ඒෂියන් පවර් පීඑල්සී හි බහුතර කොටස් අයිතිය තහවුරු කර ගැනීමට ආචාර්ය ටී. සෙන්තිල්වේල් කටයුතු කර තිබේ. පසුගිය සිකුරාදා එම සමාගමේ කොටස් මිලියන 75 ක් රු.3.00 බැගින් මිල දී ගැනීමත් සමඟම ආචාර්ය සෙන්තිල්වේල් එහි ප්‍රමුඛ කොටස්කරුවා බවට මේ වන විට පත්ව තිබේ. මෙය කොටස් ප්‍රාග්ධනයෙන් 15% ක ප්‍රමාණයකි.

    මීට පෙර පෑන්ඒෂියන් පවර් පීඑල්සී හි කොටස් 44,613,281 ක් ආචාර්ය සෙන්තිල්වේල්ගේ නම ඉදිරියෙන් සටහන්ව තිබුණු අතර එය සමාගමේ ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 8.92% කි. ඒ වන විට ඔහු සිටියේ පෑන්ඒෂියන් පවර් ප්‍රමුඛ කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ ය.

    මේ අතර පසුගිය සිකුරාදා සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 22.30% කට හිමිකම් කියන ලද එහි විශාලතම කොටස්කරුවා වූ රීගස් එනර්ජි පීඑල්සී විසින් සිය මිලියන 111.5 ක්වූ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් මිලියන 75 ක් ආචාර්ය ටී සෙන්තිල්වේල් වෙත විකුණා ඇත.

    මෙම ගනුදෙනුවත් සමඟම ආචාර්ය සෙන්තිල්වේල් පෑන්ඒෂියන් පවර් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 23.92% කට හිමිකම් කියනු ලබන අතර එහි ප්‍රමුඛ කොටස්කරුවා බවට පත් වී තිබේ.

    2002 වසරේ දී ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් වශයෙන් ඇරඹි පෑන්ඒෂියන් පවර් සමාගම, අද වන විට සිය කුඩා ජලවිදුලිබලාගාර හරහා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 15 ක බලශක්තියක් ලබා දීමට සමත්ව තිබෙන පුනර්ජනනීය බලශක්ති සමාගමකි.