2017 අයවැය යෝජනාවලිය සඳහා වෘත්තිය සමිතිවල අදහස් භාර ගැනේ

    October, 25, 2016

    2017 අයවැය යෝජනාවලිය සකස් කිරීම සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති යෝජනා භාර ගැනීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

    මේ සඳහා රාජ්‍ය ආයතන රැසක වෘත්තීය සමිති නියෝජිතයෝ සහභාගී වී සිටියහ. ඉදිරි අයවැය ලේඛනය සකස් කිරීමේ දී ඇතුළත් විය යුතු කරුණු රැසක් පිළිබඳ මෙහි දී සාකච්ඡාවට ලක් විය.

    රාජ්‍ය සේවයට අලුතෙන් බඳවා ගන්නා පිරිස් වෙත විධිමත් පුහුණුවක් ලබා දීම, විශ්‍රාම යන වයස් සීමාව සංශෝධනය කිරීම, බදු ක්‍රියාවලයට ඇතුළත් නොවන, එහෙත් ඉහළ ආදායම් ලබන පාර්ශ්වයන්ගෙන් බදු මුදල් අයකර ගන්නා ආකාරය, පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම ඇතුළු යෝජනා ගණනාවක් එහි දී මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරිණි. මෙම කරුණු එකින් එක වඩාත් ගැඹුරින් සලකා බැලීම එහි දී සිදු කෙරිණ. අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් ඇති විය හැකි අනිසි බලපෑම් සම්බන්ධයෙන් ද එහි දී සාකච්ඡා විය.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි දී කියා සිටියේ ජනතාවට උපරිම සේවයක් ලබා ගත හැකි වන පරිදි අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ සලකා බැලිය යුතු බවයි. පැවැති ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාමාර්ග මත රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය වී සිටින කණ්ඩායම් පවා ඔවුන්ගේ හැකියාවන් මත සේවා ලබා ගැනීම, සේවක පුරප්පාඩු හේතු‍වෙන් අනවශ්‍ය පරිදි අතිකාල සේවය නිරත වීමට සිදු වන අවස්ථාවන් සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු කෙරිණි.

    මෙම අවස්ථාවට ජාතික වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරමින් රාජ්‍ය පරිපාලන, සෞඛ්‍ය, ගුරු, අධ්‍යාපන, කම්කරු, ප්‍රවාහන, තොරතුරු හා විදුලි සංදේශ තැපැල් යන ක්ෂේත්‍රවලට සම්බන්ධ වෘත්තීය සමිති 10ක පමණ නියෝජිතයෝ එක් ව සිටියහ.

    හමුවෙන් අනතුරව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ සේවක වරප්‍රසාද ආරක්ෂා කර ගනිමින් අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සම්බන්ධයෙන් අතිශය වැදගත් සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වූ බවයි. 2017 අයවැය වඩාත් ජනතාවාදී කිරීම සඳහා මෙවැනි සාකච්ඡා වට රැසක් පැවැත්වූ බව ද හෙතෙම අවධාරණය කළේ ය.

    ජාතික වෘත්තීය සමිති පෙරමුණ වෙනුවෙන් අදහස් දැක් වූ එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ සිය යෝජනා වෙනුවෙන් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉතා යහපත් ප්‍රතිචාර දැක් වූ බවයි. මෙවැනි සාකච්ඡා මගින් වෘත්තය සමිති ලෙස සිය සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පමණක් නොව රටේ ජාතික කාර්යභාරයන් හි දී පෙනී සිටීමට ද ක්‍රියාකරනබව, රටට තහවුර කර ඇතැයි ද හෙතෙම කීය. අයවැය වැනි රටේ වැදගත් කාර්ය භාරයකදී ඊට යෝජනා ලබා දීමට ලැබුණු මෙම අවස්ථාව ඉතා සුවිශේෂී බව ද රත්නප්‍රිය මහතා කියා සිටියේ ය.

    සාකච්ඡාව සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ. සෙනෙවිරත්න යන මහත්වරු ද එක් ව සිටියහ.