බැඳුම්කර ගනුදෙනු හරහා පර්පචුවෙල් ට්‍රෙෂරීස් ඉතා විශාල මූල්‍යමය ලාභ ලබලා – කෝප් සභාපති කියයි

    October, 28, 2016

    බැඳුම්කර ගනුදෙනු හරහා රජයට හා මහජනතාවට සිදු වී ඇති අලාභ ඊට අදාළ වගකිව යුතු පුද්ගලයින්ගෙන් හෝ ආයතනවලින් අයකර ගත යුතු බවට නිර්දේශ කරන බව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. අද දිනයේ දී මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින් කෝප් සභාපතිවරයා මෙසේ කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෝප් කමිටු සභාපතියවරයා මෙසේ පැවසයී.

    “කාරක සභාව විසින් කරන ලද පරීක්ෂණ හා සාක්ෂි විභාග කිරීම්වල දී උපරිම පාරිශුද්ධභාවය නොමැති බවද, එහිදී කටයුතු කළ ආකාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වය පළුදු වී ඇති බව ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇති විය හැකි ආකාරයේ සාක්ෂි හා කරුණු කාරක සභාව ඉදිරියේ හෙළිදරව් වී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි.“

    “එසේම ඒ ඒ කාලයේ සිදු වී ඇති බැඳුම්කර ගනුදෙනු හරහා ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගෙන් එක් ආයතනයක් වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් ඉතා විශාල මූල්‍යමය ලාභ උපයා ගෙන ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි.“

    “එබැවින් එසේ මෙම ගනුදෙනුවලට වගකිව යුතු මහ බැංකුවේ නිලධාරීන් හා ආයතනයන්ට එරෙහිව පැනවිය යුතු දණ්ඩනයන් හා වෙනත් නියමයන් නිර්දේශ කිරීම සඳහාත් එකී අයථා කටයුතු හේතුවෙන් රජයට හා මහජනතාවට සිදුවී ඇති අලාභය හෝ පාඩුව එකී වගකිව යුතු පුද්ගලයින්ගෙන් හෝ ආයතනවලින් අයකර ගත යුතු බව නිර්දේශ කරන අතර ඒ සඳහා අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගතයුතු බව කාරක සභාව අවධාරණය කරයි.“