October, 31, 2016
සිය වාර්ෂික මහා සම්මේලනයට සමගාමීව කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී මාධ්‍ය හමුවක් සංවිධානය කිරීමට ශ‍්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය කටයුතු යොදා තිබිණි. එම සංගමයේ නව කළමනාකරණ කමිටු සාමාජිකයන් පත්කිරීමද මෑතකදී සිදුකරන ලද අතර එසේ 2016/2017 කාලසීමාව සඳහා පත්වූ නිලධාරී මඩුල්ල නිවේදනය කිරීම සහ ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය වර්තමානයේ මුහුණ පා සිටින අභියෝග සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක විග‍්‍රහයක් ඉදිරිපත් කිරීම අරමුණු කරගෙන මෙම මාධ්‍ය හමුව සංවිධානය කරන ලදි.
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට විශාලතම දායකත්වයක් ලබාදෙන තේ කර්මාන්තය මෙම වසර අවසානය වනවිට තේ කිලෝග‍්‍රෑම් මිලියන 280 ක් අපනයනය කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එමගින් අපේක්ෂිත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.3 කි. මෙය 2015 වසරේදී කිලෝග‍්‍රෑම් මිලියන 320 ක අපනයනයක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක ආදායමක් ලෙස වාර්තා වූ අතර ඒ අනුව මෙම වසරේ අපනයනය මෙන්ම ආදායමද පහළ ගොස් තිබේ. තේ අපනයනය අඩුවීමට ප‍්‍රධානතම හේතු ලෙස කලක් තිස්සේ පැවති නියං කාලගුණය, ග්ලිසොෆයිට් (වල් පැළෑටි නාශකයක් සහ විජලකාරකයකි) භාවිතය සීමා කිරීම සහ රජය විසින් සහනාධාර යටතේ පොහොර සැපයීම අත්හිටුවීම යන සාධක නිසා තේ අස්වනු අඩුවීම යනාදිය හඳුනාගෙන ඇත.
ගෝලීය මට්ටමින් ගත්විට පසුගිය වසර 10 ක කාලසීමාව තුළ තේ කර්මාන්තය 47% කින් පමණ වර්ධනය වී තිබේ. මෙරට තේ කර්මාන්තයේ ප‍්‍රධාන වෙළඳපොළවල දේශපාලනික හා ආර්ථික අර්බුද මැද එය 5% ක පමණ වර්ධනයක් අත්පත් කරගෙන ඇත. මේ වනවිට මෙරට තේ අපනයෙන් 75% ක් පමණම සිදුකරනු ලබන්නේ රුසියාව සහ මැද පෙරදිග රටවලට ය. මෙම රටවල පවතින දේශපාලන ගැටලූ සහ ආර්ථික අර්බුද හේතුවෙන් පැනනැගී ඇති වෙළඳ සීමාවන් නිසා එම රටවල මිලදීගැනීමේ ශක්තිය හීන වී ඇති අතර එය ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ වර්ධනයට සැලකිය යුතු බාධාවක් වී පවතී.
චීනය සහ තුර්කිය වැනි රටවල ශ‍්‍රී ලංකාවේ තේ සඳහා විශාල ඉල්ලූමක් ඇති නමුත් ඒවා සඳහා එම රටවල ඉහළ බදු පැනවී ඇත. එම නිසා ශ‍්‍රී ලංකා රජය මේ වනවිට චීනය සහ තුර්කිය සමග නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු කරමින් සිටී. එමගින් ශ‍්‍රී ලාංකික නිෂ්පාදන වලට වඩාත් පහසුවෙන් එම රටවල වෙළඳපොළට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත. එමෙන්ම තේ මිලදීගැනීම යහපත් මට්ටමක පවත්වා ගැනීම සඳහා ඛනිජ තෙල් වලට අදාළ මිල නියම වීමේ ව්‍යුහයද ඉතාමත් වැදගත් ය.
මෙම අභියෝග මැද වුවද තේ කර්මාන්තය තවදුරටත් වර්ධනය වීම සඳහා විශාල ඉඩකඩක් පවතී. ඒ සඳහා දායක වීමක් ලෙස තේ ආනයනය සම්බන්ධයෙන් දැනට පනවා ඇති සීමාවන් ඉවත් කළ යුතු බව ශ‍්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය යෝජනා කරයි. මෙමගින් අපනයනය කරන තේ ප‍්‍රමාණය ඉහළ යා හැකි අතර වටිනාකම් එකතුවීමද ඉහළ යනු ඇත.
” ඕනෑම ක්ෂේත‍්‍රයක් දියුණු විය හැක්කේ ඒවාට පනවා ඇති සීමා මායිම් එළඹෙන තුරු පමණයි. රජය මගින් ආනයනයට පනවා ඇති සීමාවන් නිසා තේ අපනයනය කරන ප‍්‍රමාණය අඩු වීම, තේ වල ප‍්‍රමිතිය බාල වීම සහ අඩු ප‍්‍රමිතියෙන් යුත් තේ සඳහා පවා ඉහළ මිලක් නියම වීම වැනි ගැටලූ මතුවෙනවා. එම නිසා ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය ගෝලීය මට්ටමින් වර්ධනය වීමට නම් ක්ෂේත‍්‍රයට පනවා ඇති මෙම සීමාවන් ඉවත් කළ යුතු බව මගේ හැඟීමයි.” තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතා පැවසී ය.
මෙම මාධ්‍ය හමුව අමතමින් සංගමයේ නව සභාපති ජයන්ත කරුණාරත්න මහතා කියා සිටියේ තේ කර්මාන්තය ගෝලීය මට්ටමින් පුළුල් කිරීම සඳහා අවස්ථා රාශියක් පවතින බවයි. ඒ සඳහා ක්ෂේත‍්‍රයේ නිෂ්පාදන පෙළ සහ වෙළඳපොළ පුළුල් කළ යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.
වෙනත් රටවල තේ කර්මාන්තය මේ වනවිට දියුණු වන තාක්ෂණයට සමගාමීව ඉලෙක්ට්‍රොනික වෙළඳාම් ක‍්‍රම වලට මාරු වී තිබුණද ශ‍්‍රී ලංකාවේ තවමත් සාම්ප‍්‍රදායික තේ වෙන්දේසි ක‍්‍රමය භාවිතා වේ. එළඹෙන වසරේදී ශ‍්‍රී ලංකාව තේ අපනයනය කිරීම ආරම්භ කර වසර 150 ක් සම්පූර්ණ වන අතර එම සන්ධිස්ථානය සමරමින් ශ‍්‍රී ලංකාව තේ වෙන්දේසි කටයුතු සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීම ආරම්භ කිරීම සුදුසු බව සංගමයේ අදහසයි. මෙමගින් ප‍්‍රසම්පාදන කාලසීමාවන් අවම වන අතර සියලූ කටයුතු මාර්ගගතව (Online) සිදුවන නිසා වෙන්දේසි අවස්ථාවන්හිදී අක‍්‍රමිකතා සිදුවීමේ ඉඩකඩද අවම වනු ඇත.
2020 වසර වනවිට තේ අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීමේ අභියෝගය අද ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය හමුවේ ඇත. තේ කර්මාන්තය රටේ ආර්ථිකයට කේන්ද්‍රීය දායකත්වයක් ලබාදෙන කර්මාන්තයක් ලෙස සැලකෙන නිසා තේ මණ්ඩලයේ සහ රජයේ උපරිම සහයෝගය මෙම කර්මාන්තය වෙත ලබාදෙන ලෙසත්, අනෙකුත් ක්ෂේත‍්‍ර වෙත ලබාදී ඇති සියලූ සහනාධාර සහ පහසුකම් මෙම කර්මාන්තය වෙතද ලබාදීමට පියවර ගන්නා ලෙසත් තේ අපනයනකරුවන්ගේ සංගමය අදාළ සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.