මාස 10 ට සියයට 7 කින් කොළඹ කොටස් පහළට

    November, 1, 2016

    2016 ඔක්තෝබර් 31 දිනෙන් අවසන් වසරේ මුල් මාස 10 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 7.04% කින් පහළ ගොස් තිබේ.මේ අනුව වසර ආරම්භයේ දී ඒකක 6,894.50 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය මාස 10 කට පසු දැක්වුණේ ඒකක 6,409.23 ක් ලෙසිනි.

    ඊයේ දිනය තුළ දී වාර්තා වූ පිරිවැටුම රුපියල් මිලියන 142 ක් ලෙසින් සටහන් වූ අතර මෙය මෙම වසර තුළ වාර්තා වූ දෙවැනි අඩුම දෛනික පිරිවැටුමයි. එසේම වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් මිලියන 726.2 ක් ලෙසින් වාර්තා වන අතර ඉන් 1/5 කටත් වඩා අඩු අගයයක් දක්වා දෛනික පිරිවැටුම පහත වැටී තිබේ.

    සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,409.23 ක් ලෙසින් ඊයේ දිනය අවසානයේ දී සටහන් වූ අතර එය පසුගිය ජූලි 29 වනදායින් පසු වාර්තා වූ අඩුම සියලු කොටස් මිල දර්ශක අගයයි.