November, 3, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ EQUITY ONE PLC, 2016 නොවැම්බර් 02 වන දින සිට තව දුරටත් ලැයිස්තුගත සමාගමක් නොවන බව කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජේවර්ධන මහතා විසින් දැනුම් දී සිටී. මේ අනුව EQUITY ONE PLC හි කොටස් ඊයේ දිනයේ සිට ගනුදෙනු වන්නේ නැත.
Carson සමූහයට අයත් සමාගමක් වන EQUITY ONE PLC හි කොටස් හිමිකාරීත්වයෙන් 96.27% කට හිමිකම් කියනු ලබන්නේ Carson Cumberbatch PLC විසිනි.
කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වලට සිය සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනයෙන් අවම වශයෙන් 20% ක ප්‍රමාණයක් මහජන පංගුවක් (Public float) ලෙස නඩත්තු කළ යුතු බවට නියමයක් පැනවීමත් සමඟම සමාගම් කිහිපයක්ම කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත කිරීමෙන් ඉවත් වීමට කටයුතු කරනු ලැබීය. EQUITY ONE PLC සමාගම ද එවැන්නකි. 2016 ජූනි 30 වන දින වන විට EQUITY ONE PLC සමාගමෙන් අවම මහජන පංගුව (Minimum public float) දැක්වුණේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 3.72% ක් ලෙසිනි.
මෙලෙස කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමේ ක්‍රියාවලයේ දී සමාගමේ සුළුපරිමාණ කොටස් හිමියන්ගේ කොටස් නැවත වරක් මිල දී ගැනීමට EQUITY ONE PLC හි ප්‍රමුඛ කොටස්කරුවා වූ Carson Cumberbatch PLC පියවර ගත් අතර ඒ වෙනුවෙන් එක් කොටසක් සඳහා රු. 77.50 බැගින් ගෙවීමට ඔවුන් එකඟ වී තිබිණි.