November, 3, 2016
වකුගඩු රෝග සඳහා වැඩි අවදානමක් ඇති අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක වලට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා පළාත් පාලන වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ, ආසියානු සංවර්ධන අරමුදලින් ඇ.ඩො. මිලියන 60ක අතිරේක ප්‍රතිපාදන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් ඊයේ (02) ණය ගිවිසුමකට අත්සන් තබන ලදී .
මේ සම්බන්ධයෙන් වන ණය ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික ධූත මණ්ඩල අධ්‍යක්ෂ ශ්‍රී විදෝවතී මහත්මිය විසින් 2016 නොවැම්බර් 2 වන දින මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තබනු ලැබීය.
වකුගඩු රෝග සඳහා වැඩි අවදානමක් ඇති ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමට අමතරව මෙම ව්‍යාපෘතිය මඟින් බස්නාහිර, දකුණු, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වල ඇති ප්‍රාදේශීය සභා 29ක ප්‍රමුඛ යටිතල පහසුකම් සහ මූලික සේවා සැපයුම වැඩිදියුණු කිරීම සඳහා දායක වනු ඇත.
ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇ.ඩො මිලියන 67.84 ක් වන අතර ඒ සඳහා රජයේ දායකත්වය ඇ.ඩො. මිලියන 7.84 කි. ණය මුදලෙන් 75% පමණ වකුගඩු රෝග සඳහා වැඩි අවදානමක් ඇති ප්‍රදේශවල පානීය ජලය සැපයීමේ යෝජනා ක්‍රම සඳහා උපයෝජනය කෙරෙන අතර ඉතිරිය, ව්‍යාපෘතිය මගින් තෝරාගත් පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ සහ ධාරිතා ප්‍රවර්ධනය කිරීමේ කාර්යයන් සදහා උපයෝජනය කරනු ලැබේ.
ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙයට පෙර ගිවිස ගන්නා ලද ආධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 59 ක් ලබා දෙන ලදී. ඒ යටතේ පළාත් 7 ක් ආවරණය වන පරිදි පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති 184 ක් ආරම්භ කරන ලදී. ජල සම්පාදන පහසුකම් සැපයීම, මාර්ග කානු පද්ධති සහ බෝක්කු අලුත්වැඩියාව සහ සංවර්ධනය කිරීම, මාතෘ හා ළමා නිවාස සංවර්ධනය කිරීම සඳහා තෝරාගත් පළාත් පාලන ආයතන 108ට ම රුපියල් මිලියන 50 බැගින් ලබාදෙන ලදී. ප්‍රාදේශීය මට්ටමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපෘති 184 න් දැනටමත් 147 ක වැඩ අවසන් වී ඇත.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ විධායක ආයතනය වන අතර අදාළ පළාත් සභා විසින් ව්‍යාපෘතිය පළාත් මට්ටමේදී ක්‍රියාත්මක කරනු ඇත.