November, 9, 2016
ලෝකයේ වෙනත් රටවලින් ශ්‍රී ලංකාව වෙත කුරුඳු ආනයනය කිරීම තහනම් කිරීමටත්, ශ්‍රී ලංකාවේ වරායයන් හරහා කුළුබඩු ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, දැනට ක්‍රියාත්මක වන 'අපනයනය කිරීම සඳහා තාවකාලිකව ආනයනය කිරීමට ඉඩ දෙනු ලබන යෝජනා ක්‍රමය' - (TIEP) සංශෝධනය කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමටත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
මේ සම්බන්ධ පත්‍රිකාවට අනුව ශ්‍රී ලංකාවේ කුරුඳු සතුව පවතින අනන්‍ය ගුණය, සුවඳ, රසය සහ වර්ණය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දීර්ඝකාලීන කීර්තියක් අත් කරගැනීමට 'ලංකා කුරුඳු' (Ceylon Cinnamon) සමත්ව ඇති බවත් එසේ වුවද, විවිධ රටවල්වලින් කුරුඳු ශ්‍රී ලංකාවට ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමේ සිදුවීම් මෑතකාලීනව වාර්තා වී ඇති අතර එය 'ලංකා කුරුඳු' (Ceylon Cinnamon) සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ ඇති කීර්තිනාමයට අහිතකර අයුරින් බලපා තිබෙන බවත් වැඩිදුරටත් සඳහන් වේ.