November, 14, 2016
අයවැය සකසුරුවම් කලය තුළට රජයේ ආදායම ලෙසින් බදු සහ බදු නොවන ආදායම එන බවත්, කලයෙන් පිටතට ඵලදායී වියදම් ගන්නා බවත් පැවසූ හිටපු මහ බැංකු අධිපති ඩබ්. ඒ. විජේවර්ධන මහතා කියා සිටියේ විශාල වශයෙන් මෙම කලයෙන් මුදල් කාන්දුවන බවයි. කලයේ හිල් තිබෙන බව මුදල් අමාත්‍යවරයා නොදන්නවා හෝ දැන දැන නොසලකා සිටින බවට හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා මෙලෙසින් කියා සිටියේ පසුගිය දා පැවති පශ්චාත් අයවැය සම්මන්ත්‍රණයක දීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ඩබ්. ඒ. විජේවර්ධන මහතා මෙසේ කියා සිටියේය.
“මාගේ ගණන් බැලීම අනුව ඇමතිවරයෙකුව නඩත්තු කරන්න, බදු ගෙවන්නන් මාසෙකට රුපියල් මිලියන 6 ක වියදමක් දරනවා. ඇමතිවරුන්ට හොඳ පඩියක් දෙන්න ඕනේ. නමුත් එසේ දෙන දේ රටේ මහජනතාවට ප්‍රකාශ කළ යුතුයි.“
“බංකොලොත් වුණු මූල්‍ය ආයතන ගොඩගැනීම, මහ භාණාඩාගාරය තමන්ගේ වගකීමක් කර ගැනීම අද වන විට ඇති වෙලා තිබෙන ඉතා අහිතකර තත්ත්වයක්. මේකට හොඳම උදාහරණයක් ගෝල්ඩන් කී සමාගම. ගෝල්ඩන් කී එකට ගෙවනවා බිලියන 11 ක්. ඒ කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර වගේ විශ්ව විද්‍යාල 5 ක් අපට ගෙනියන්න පුළුවන් මේ ගෝල්ඩන් කී එකට ගෙවන මුදලින්. මුදල් ඇමතිතුමාට තියෙන අයිතිය මොකක්ද, මගේ බදු සල්ලි අරගෙන ගෝල්ඩන් කී එකට දෙන්න. එහෙම අයිතියක් එයාට තියෙනවා කියලා මම හිතන්නේ නැහැ.“
“මුදල් මණ්ඩලය තමයි ශ්‍රී ලංකාවේ ගෙවුම් ක්‍රමය නිර්මාණය කරන්නේ. මේ අයවැයෙන් මුදල් ඇමතිතුමා කියනවා, එයා අලුත් එකක් හදනවලු, සියලුම බදු ගෙවන ආයතන එක්කහු කරලා, රජයේ සහ පුද්ගලික අංශයේ සියලුම ගෙවුම් මේ හරහා යන්න ඕනේ. මේ නිසා අනාගතයේ දී ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්‍රමයට අපිට හිතාගන්න බැරි විදියේ තර්ජනයක් ඇතිවෙනවා. බැංකු පාලනය කරන්න ඕනේ මහ බැංකුව. මුදල් ඇමති තීරණය කරනවා, බැංකුවල ප්‍රාග්ධනය මෙච්චර විය යුතුයි, බැංකු ණය දෙන්න ඕනේ මේ මේ විදියට කියලා. මුදල් ඇමතිතුමා කියනවා ලක්ෂ ට වඩා අඩු ණය රෙකෝඩ් කරන්න ඕනේ නැහැ කියලා. මම දන්නේ නැහැ ඇයි එහෙම කියන්නේ කියලා. මෙය මුදල් ඇමතිවරයාගේ රාජකාරියක් නොවෙයි. මෙය මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ රාජකාරියක්. මේවා මුදල් මණ්ඩලයේ කටයුතු. ඒවාට අතපෙවීම මුදල් ඇමතිවරයාට සුදුසු කාර්යයක් නොවෙයි. මුදල් මණ්ඩලය නිර්මාණය කරලා තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න. දේශපාලඥයින් වෙනුවෙන් කටයුතු කරන්න නෙමෙයි.“