November, 16, 2016
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු, මහවැලි ආර්ථික කලාපයන්හි පිහිටි, කෘෂි වගාවන්ට යොදා ගත නොහැකි ඉඩම්, ජලාශ හා ඇළ මාර්ග යනාදිය හඳුනාගෙන, ඒවායේ පාවෙන සූර්ය බල නිෂ්පාදන ඒකකද ඇතුළත්ව වඩාත් පරිසර හිතකාමී පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාර පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමටත්, ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් යෝජනා කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන් හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටින අතර හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේදී බලශක්ති නිෂ්පාදන ක්ෂේත්රය ප්‍රධාන දායකත්වයක් උසුලනු ලබයි.
එහිදී ඩීසල් හා ගල් අඟුරු වැනි පොසිල ඉන්ධන භාවිත කරනු ලබන තාප බලාගාර වෙනුවට සුළං, ජල විදුලි හා සූර්ය බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ අවශ්‍යතාව රජය විසින් පිළිගනු ලැබ තිබේ.