අයවැයෙන් පසු අඛණ්ඩව සයවෙනි දිනටත් කොළඹ කොටස් පසු බසී

    November, 21, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව සය වෙනි දිනයටත් අද දිනයේ දී පහළ යන ලදී. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,275.26 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 50.85 ක් හෙවත් 0.80% ක පහළ යාමකි.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් නව රජයේ දෙවැනි අයවැය පසුගිය නොවැම්බර් 10 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එතැන් සිට අඛණ්ඩව ගනුදෙනු දෙන 6 ක් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක මේ වන විට පහළ ගොස් ඇත.

    නොවැම්බර් 11 වන දින ගනුදෙනු ආරම්භයේ දී ඒකක 6,420.8 ක් ලෙසින් දැක්වුණු සියලු කොටස් මිල දර්ශක අගය අද (21) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,275.26 ක් ලෙසින් සටහන් විය. මෙය අදාළ කාලපරිච්ඡේදය තුළ ඒකක 143.5 කින් කොටස් වෙළෙඳපොළ පහළ ගොස් තිබේ. මෙය දින 6ක් තුළ 2% ක් ඉක්ම වූ වෙළෙඳපොළ කඩා වැටීමකි.

    අද දින වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 395.4 ක් ලෙසින් වාර්තා වූ අතර වසරේ මේ දක්වා කාලය තුළ සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රුපියල් මිලියන 702 හා සැසඳීමේ දී එය ඉන් අඩක් ඉක්ම වූ ප්‍රමාණයකි. පසුගිය දින කිහිපය පුරාවට කොටස් ගනුදෙනු සඳහා විදේශ අංශයේ සහභාගීත්වය ඉතා දුර්වල මට්ටම පැවතිය ද අද දිනයේ දී එය තරමක් සතුටුදායක මට්ටමකට පැමිණ තිබිණි. එහිදී විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන118.9 ක් හා විදේශීය විකිණුම් රුපියල් මිලියන 166.9 ක් ලෙසින් සටහන් විය.

    මේ වන විට කොටස් වෙළෙඳපොළ මිල ඉපැයුම් අනුපාතය 13.02 ක් ලෙසින් සටහන් වන අතර වෙළෙඳපොළ විශේලේෂකයින් පවසන්නේ, කොටස් ආයෝජනය සඳහා මෙය ආකර්ෂණීය පසුබිමක් බවයි.

    තවද පසුගිය සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික ඉහළ යන ප්‍රවණතාවක් යළිත් වරක් පෙන්නුම් කිරීමත්, අයවැය යෝජනා අනුව ආයතනික බදු සංශෝධන, ඇතැම් අයවැය යෝජනා සම්බන්ධයෙන් නිවැරදි පැහැදිලි කිරීම් මෙතෙක් සිදුනොවීමත් යනා දී තත්ත්වයන් ආයෝජකයින් මෙම කාලය තුළ තරමක නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට හේතු වී ඇති බව අද දෙරණ Biz කළ විමසීමක දී කොටස් තැරැව්කරුවකු කියා සිටියේය.