දැවැන්ත ආයෝජන රැසක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට කොළඹ වාණිජ මණ්ඩලය මුලපුරයි

    November, 22, 2016

    කොළඹ වාණිජ මණ්ඩලය මගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ජාත්‍යන්තර ප‍්‍රවේශය උදෙසා පසුබිම සකස් කිරීම අරමුණ කර ගනිමින් සංවිධානය කළ ඕස්ටේ‍්‍රලියානු වෙළඳ දූත මණ්ඩල සංචාරය තුළින් දැවැන්ත ආයෝජන රැසක් මෙරටට ලබා ගැනීම සඳහා පසුබිම නිර්මාණය කර ගැනීමට සමත් වී ඇත. පසුගිය 05 වෙනිදා සිට 20 වෙනිදා දක්වා ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් හා බි‍්‍රස්බේන් නගර කේන්ද්‍ර කොට පැවති මෙම වෙළඳ දූත මණ්ඩල සංචාරය සඳහා කොළඹ වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් ව්‍යාපාරිකයන් 15 දෙනෙකුගෙන් යුක්ත වූ කණ්ඩායමක් සහභාගි විය. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මැතිතුමාගේ හා කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතාගේ මෙහෙයවීමෙන් සිදු කල මෙම වෙළඳ දූත මණ්ඩල සංචාරය ශ‍්‍රී ලංකා ඕස්ටේ‍්‍රලියා ද්වීපාර්ශික සබඳතා ආරම්භ කිරීමෙන් පසු සිදුකළ සාර්ථකම ප‍්‍රතිඵල පාදක එකම වෙළඳ දූත මණ්ඩල සංචාරය ලෙස එරට ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ගේ හා දේශපාලඥයන්ගේ විශේෂ අවධානයට ලක්වීමට සමත් විය.

    මෙම සංචාරයට සහභාගි වූ සෑම තරුණ ව්‍යාපාරිකයෙකුටම ප‍්‍රථම ජාත්‍යන්තර වෙළඳ දූත මණ්ඩල සංචාරය ලෙස ඉතාම සාර්ථක ප‍්‍රතිඵල සහිත අත්දැකීම් සම්භාරයක් එක් රැස් කර ගැනීමට හැකිවූ අතරම විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරමින් සහභාගි වූ සෑම ව්‍යාපාරිකයෙකුම වාණිජමය වශයෙන් සාර්ථක සබඳතා රැසක් ගොඩනඟා ගැනීමට අවස්ථාව මෙහිදී උදාවිය. එරට ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් රැසක් සමඟ මුහුණට මුහුණ ලා ව්‍යාපාරික කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මූලික එකඟතාවයන්ට එළඹීම සහ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම දක්වා සාර්ථක කාර්යභාරයක නියැලීමට අවස්ථාව උදාවිය.

    පසුගිය 10 වෙනි දින මෙල්බර්න් නුවර පිහිටි Rendezvous හෝටලයේදී පැවති ප‍්‍රධාන ව්‍යාපාරික හමුව සඳහා ඕස්ටේ‍්‍රලියාවෙහි වෙසෙන ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ඕස්ටේ‍්‍රලියානු ජාතික ව්‍යාපාරිකයන්, චීන, ඉන්දියානු ඇතුළු රටවල් රැසක් නියෝජනය කරමින් එරට ව්‍යාපාරික කටයුතු සිදු කරන ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ. එහිදී රුපියල් මිලියන 500 ක ආයෝජන සඳහා මූලික එකඟතා සිදුවූ අතර මෙම වසර අවසානයේදී එම ආයෝජන කටයුතු සඳහා අවසන් ගිවිසුම් අත්සන් කිරීමට නියමිත වේ.

    මෙරට ව්‍යාපාරිකයන් සඳහා ඕස්ටේ‍්‍රලියානු වෙළෙඳපොළ වෙත ප‍්‍රවේශවීමේදී අනුගමනය කළ යුතු ක‍්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ උපදේශක වැඩමුළු සඳහා සම්පත් දායකත්වය මෙල්බර්න්හි Deakin සරසවිය මගින් ලබාදීමට එකඟතාවය පලකරන ලදී. කොළඹ වාණිජ මණ්ඩලය හරහා එම කටයුතු සිදුකිරීමට අවශ්‍ය මූලික එකඟතා සියල්ල මේ වන විට අවසන්ව ඇත.

    වික්ටෝරියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක Telmo Languiller මැතිතුමා හා ආචාර්ය අමිල කංකානම්ගේ අතර සුවිශේෂී සාකච්ඡාවක් පැවති අතර වික්ටෝරියානු ප‍්‍රාන්ත වෙළෙඳපොළ තුළ වැඩි ඉඩක් ලාංකීය නිෂ්පාදන සඳහා ලබාදිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලදී. බි‍්‍රස්බේන් නගර සභා නියෝජිත Krista Adams මහත්මිය සමඟ වෙළඳ සබඳතා ප‍්‍රවර්ධන සාකච්ඡාවක් සිදුකළ අතර එහිදි ලාංකික නිෂ්පාදන සඳහා බි‍්‍රස්බේන් නගරය තුළ වැඩි ව්‍යාපාරික අවස්ථා ලබාදීම පිළිබඳ අවධානය යොමුකරන ලදී. දැනට එම වෙළෙඳපොළ තුළ සංසරණය වන භාණ්ඩ වල පවතින ප‍්‍රමිතිය සහිතව ඉදිරිපත් කරන භාණ්ඩ සඳහා වැඩි ඉඩක් නිර්මාණය කර ගැනීමට මෙහිදී අවස්ථාව ලැබෙනු ඇත. එමෙන්ම ක්වීන්ස්ලන්ත වාණිජ හා කර්මාන්ත මණ්ඩල ප‍්‍රධානීන් අතර පැවැති සාකච්ඡාව තුළින්ද මෙරට ව්‍යාපාරික ප‍්‍රජාවට එරට වෙළෙඳපොළ ප‍්‍රවේශය සඳහා මූලික එකඟතා ඇති කිරීම පිළිබඳ දීර්ඝ අදහස් හුවමාරුවක් ඇතිවිය. විශේෂයෙන් බි‍්‍රස්බේන් නගරය වෙත වෙළඳ දූත මණ්ඩල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආචාර්ය අමිල කංකානම්ගේ වෙත ක්වීන්ස්ලන්ත වාණිජ හා කර්මාන්ත මණ්ඩල ප‍්‍රධානීන් ආරාධනා කරන ලදී.