November, 22, 2016
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2017 අයවැය යෝජනා තුළ තම කර්මාන්ත ක්ෂේත්‍රයට සාධනීය බලපෑමක් සිදුකරනු ලබන යෝජනා කිහිපයක්ම අන්තර්ගත වන බව ශ්‍රී ලංකා සහාධිපත්‍ය සංවර්ධකයින්ගේ සංගමය කියා සිටී.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සහාධිපත්‍ය සංවර්ධකයින්ගේ සංගමය මෙහිදී කියා සිටින්නේ මෙතෙක් කලක් විදේශිකයින් හට මෙරට සහාධිපත්‍ය දේපළ මිල දී ගැනීම සම්බන්ධයෙන් පනවා තිබෙන නීතී රීති ලිහිල් කිරීම කර්මාන්තයට විශාල පිටිවහලක් බවයි.
2017 අයවැය යෝජනා අනුව මෙතෙක් කලක් විදේශිකයින් හට මහල් නිවාසවල සිව්වන මහලෙන් පහත මහල් මිල දී ගැනීමට තිබූ නීතිය වෙනස් කරමින් ඔවුන් හට 2017 වසරේ පටන් විදේශිකයින් හට බිම්මහල සඳහා වන හිමිකාරීත්ව අයිතියේ ඇති සීමාවන් ඉවත් කරමින් පළමු මහල් හතර දක්වා ද මිල දී ගත හැකි වන අයුරින් අවස්ථාව ලබා දී ඇත.
එසේම විදේශිකයින් විසින් මහල් නිවාස මිල දී ගැනීමේ දී අදාළ සම්පූර්ණ වටිනාකම විදේශ ප්‍රේෂණ හරහා පළමුවෙන්ම ගෙවිය යුතු බවට තිබූ නීතිය ද මෙවර අයවැයෙන් ලිහිල් කර තිබේ. ඒ අනුව විදේශිකයින් හට සිය දේපළේ වටිනාකමික් 40% ක් දක්වා දේශීය බැංකුවකින් ණය පහසුකම් ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ. මෙහිදී ණය සේවාකරණය විදේශ මුදල්වලින් විය යුතු බවට අයවැය යෝජනා මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සහාධිපත්‍ය සංවර්ධකයින්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටින්නේ මේ වන විට කොළඹ නගරය තුළ සුඛෝපභෝගී මහල් නිවාස ඒකක 8,000 ක් පමණ ඉදිවෙමින් පවතින බවත්, මෙම සැපයුමට අවශ්‍ය ඉල්ලුම සපුරාලනු වස් විදේශිකයින් ආකර්ෂණීය කර ගැනීමට මෙම අයවැය යෝජනා සාධනීය ප්‍රවේශයක් බවත්ය.