කොටස් තැරැව්කරුවන්ට අවදානම පදනම් කරගත් ප්‍රාග්ධන ප්‍රමාණතා අවශ්‍යතා හඳුන්වා දෙයි

    November, 23, 2016

    කොටස් තැරැව්කාර සමාගම් සඳහා අවදානම පදනම් කර ගත් ප්‍රාග්ධන ප්‍රමාණතා අවශ්‍යතාවන් හඳුන්වා දීම සඳහා කොළඹ ව්‍යපාර වස්තුවේ නිර්දේශ පරිදි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් පියවර ගෙන තිබේ.

    මේ අනුව කොටස් තැරැව්කාර සමාගම්, අවම ද්‍රවශීලතා ප්‍රාග්ධන අවශ්‍යතාවය රුපියල් මිලියන 35 ක් වන අතර අවදානම පදනම් කර ගත් ප්‍රාග්ධන ප්‍රමාණතා අවශ්‍යතාවය 1.2 ගුණයක් වේ. මෙම නියාමනය ණය සුරැකුම් පමණක් ගනුදෙනු කිරීමට බලයලත් තැරැව්කාර සමාගම් හැර සෙසු සියලු කොටස් තැරැව්කාර සමාගම් සඳහා 2017 මාර්තු 01 වැනි දින සිට බලපැවැත්වෙනු ඇත.

    වර්තමානයේ දී කොටස් තැරැව්කාර සමාගම් සඳහා බලපවත්වන අවම ශුද්ධ ප්‍රාග්ධන අවශ්‍යතාවය තුළින් අදාළ ආයතනය කොතරම් අවදානමක් සඳහා අනාවරණය වී ඇත්තේ ද යන්න පිළිබිඹු නොවන බැවින් මෙවැනි නියාමනයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව අද දෙරණ කළ විමසීමක දී කොටස් තැරැව්කාර සමාගමක ප්‍රධානියෙකු කියා සිටියේය. මේ අනුව එක් එක් සමාගම් කොටස් සඳහා බර තැබූ අවදානම් සාමාන්‍ය අනුපාතිකයන් හඳුන්වා දෙන බවත්, ආයෝජකයින් සහ තැරැව්කාර සමාගම්වල සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මෙය යහපත් තීරණයක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී පැවසීය.