බ‍්‍රැන්ඩික්ස් මූලස්ථාන ගොඩනැගිල්ල කෙන් බාලේන්ද්‍ර නමින් නම් කෙරෙයි

    November, 30, 2016

    ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් ව්‍යාපාරික නායකයෙකු මෙන්ම බ‍්‍රැන්ඩික්ස් සමූහයේ පළමු සභාපතිවරයා වූ කෙන් බාලේන්ද්‍ර මහතා සිදුකර තිබෙන අති මහත් සේවාවට ගරු කිරීමක් වශයෙන් කොළඹ 03, Rheinland පෙදෙසේ පිහිටි බ‍්‍රැන්ඩික්ස් මූලස්ථාන ගොඩනැගිල්ල කෙන් බාලේන්ද්‍ර මහතා නමින් 2016 නොවැම්බර් 28 වන සඳුදා පැවති චාම් උත්සවයකදී නම් කරන ලදී.

    තට්ටු හතකින් යුතු මෙම ගොඩනැගිල්ල 2015 අපේ‍්‍රල් මාසයේදී විවෘත කළ අතර මෙතැන් සිට මෙම ගොඩනැගිල්ල ‘කෙන් බාලේන්ද්‍ර ගොඩනැගිල්ල’ ලෙසින් හැඳින්වෙන අතර කෙන් බාලේන්ද්‍ර මහතාගේ නායකත්වයේ මග පෙන්වීම තුළින් බ‍්‍රැන්ඩික්ස් සමූහය ලංකාවේ ප‍්‍රමුඛතම අපනයන සමාගම දක්වා රැගෙන ඒමට දැක්වූ දායකත්වය මෙයින් ඇගයීමට ලක් කර තිබේ.

    ‘‘අපගේ දැක්මේ ප‍්‍රධාන අංගයන් වන ප‍්‍රමුදිතභාවය හා උද්දීපනය තුළින් අපගේ ව්‍යාපාරය වසර ගණනාවක් ඉදිරියට පැමිණ තිබෙනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිළධාරී, අෂ්රොෆ් ඕමාර් මහතා පැවසීය. ‘‘කෙන් බාලේන්ද්‍ර මහතා සභාපතීත්වය දැරූ වසර දහයක කාලය තුළදී ඔහු එය සැබවින්ම නියෝජනය කළා.’’

    බ‍්‍රැන්ඩික්ස් සමූහය තුළ ඔහු විසින් නායකත්වය දැරූ වසර දහයක කාල සීමාව තුළදී සමූහයට ආයතනික නායකයෙකු ලෙස නැගී සිටීමට අවශ්‍ය වන පරිදි ලයිස්තුගත සමාගමකට සමාන වාර්තාකරණ ව්‍යුහයක් සහ වටිනාකම් හඳුන්වා දුන් අතර ඉතාමත් ඉහළ විනිවිදභාවයක් ඇති කරන ලදී. මීට අමතරව, සමාගම පුළුල් කිරීමට සහ සමාගමේ වේගවත් වර්ධනය සඳහා ඔහු විසින් දැක්මක් සහිත නායකත්වයක් ලබාදුන්නේය.

    බ‍්‍රැන්ඩික්ස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල පරිපාලනය, අධ්‍යක්ෂ මණ්ඩල විනය, කණ්ඩායම් ජීවගුණය, තීරණ ගැනීමේ ශක්තිය වර්ධනය කිරීම සහ ප‍්‍රමුඛතම ව්‍යාපාරික සමූහ සමඟ සන්සන්දනය කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රමවේදයන් බාලේන්ද්‍ර මහතා විසින් හඳුන්වා දෙන ලදී.

    ලංකා ගොඩනැගිලි ආයතනය විසින් (CIOB) ග‍්‍රීන් මාර්ක්-ප්ලැටිනම් සහතිකය පිරිනමා තිබෙන ශ‍්‍රී ලංකාවේ පළමු වාණිජ ගොඩනැගිල්ල ලෙසින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල සැලකෙන අතර හරිත ගොඩනැගිලි ඇගයීම සඳහා සිංගප්පූරුවේ ගොඩනැගිලි ඉදිකිරීමේ අධිකාරිය (BCA) විසින් මෙම වර්ගීකරණය සංවර්ධනය කර ඇත.

    ඡායාරූපය - තම නමින් බ‍්‍රැන්ඩික්ස් මූලස්ථානයේ ඉදිකර තිබෙන සමරු ඵලකය දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා විසින් විවෘත කරයි.