රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර යෝජනා ක‍්‍රමයට සම්බන්ධ වන ලෙස ශ‍්‍රී ලංකා රජය සියලූ සංවර්ධන මූල්‍ය ආයතනවලට ඇරයුම් කරයි

    December, 7, 2016

    පෞද්ගලික අංශය මූලිකත්වය දරමින් දියත් කිරීමට යෝජිත රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර යෝජනා ක‍්‍රමයේ දී රජයේ පාර්ශවය වෙනුවෙන් එවැනි ව්‍යාපාරයන් සදහා මුදල් අයෝජනය කරන ලෙස ශ‍්‍රී ලංකා රජය සියලූ සංවර්ධන මූල්‍ය ආයතනවලට ආරාධනයකර සිටී.යෝජිත රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර යෝජනා ක‍්‍රමය සම්බන්ධව සාකච්ඡා කිරීමට දේශීය හා විදේශීය වෘත්තිකයන් ගේ සහභාගීත්වයෙන් ලෝක බැංකුව විසින් කොළඹ මුල්‍ය අධ්‍යයන ආයතනයේ දී පසුගියදා පවත්වන ලද සම්මන්ත‍්‍රණයක් අමතා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙම ආරාධනය කර සිටියේය.

    ශී‍්‍ර ලංකාවට මුල්‍ය පහසුකම් සපයන ආසියානු සංවර්ධන බැංකුව, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකා එකසත් ජනපද ආයතනය ඇතුළු සියලූ ජාත්‍යන්තර මුල්‍ය සංවර්ධන ආයතන බලධාරීන් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වී සිටියහ.

    ස්ථිර ආර්ථික වර්ධනයක් සමග ඉදිරියට ඇදෙන හා වේගයෙන් වෙනස් වෙමින් පවතින ගෝලීය වාණිජ ව්‍යාපාර ලෝකය විශාල අභියෝගයක්ව පවතින බැවින් අපගේ ආර්ථික ඉලක්කයන් යථාර්තයක් බවට පත්කර ගැනීමට නම් අප වැඩි වැඩියෙන් ඒ සඳහා ආර්ථික අවස්ථාවන් උදාකරගත යුතු ව ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහි දී පැවසීය.

    ශි‍්‍ර ලංකාවේ ජනගහන වර්ධන වේගය, පුරෝකථනය කළ කාල ප‍්‍රමාණයන්ට පෙර කෝටි තුන දක්වා ළගාවෙන බවත් එසේ වැඩිවන ජනගහනයට අවශ්‍ය නිවාස, විදුලිය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, මාර්ග හා ප‍්‍රවාහන පහසුකම් සැපයිය යුතු බැවින් ද එසේ වැඩිවන ජනහගනය වැඩි ඵලදායීතාවයක්, රැකියා සහ ආර්ථික වර්ධනයක් කරා යොමුකරවීමට සිදුව ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

    ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකාව විශාල ආර්ථික විපර්යාසයකට මුහුණදෙමින් සිටින හෙයින් එම ආර්ථික අරමුණු කරා ළගාවීමට නම් රටේ යටිතල පහසුකම් වැඩිවශයෙන් සංවර්ධනය කළයුතය. එසේ කිරීම යථාර්ථයක් බවට පත්වන්නේ ඒ සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන වලට ඉඩදීම තුලිනි. එබදු විශාල ව්‍යාපෘති වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන්කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් බව රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය.

    ලෝකයේ බොහෝ රටවල් තිරසාර යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් භාවිතා කරන ප‍්‍රචලිත විකල්ප ක‍්‍රමවේදය වන්නේ, පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීමය. එබැවින් 2017අයවැයෙන් එබදු රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපෘති ගණනාවක් දියත්කිරීමට යෝජිතය. ලෝක බැංකුව මෙම යෝජනා ක‍්‍රමවලට සහාය දීමට කැමැත්ත දැක්වීම ඉතා කාලෝචිත බැවින් රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර යෝජනාක‍්‍රම මුදල් අමාත්‍යාංශය හරහා දීර්ඝකාලීන පදනමක් යටතේ සිදු කිරීමට බලාපොරොත්තුවන බවද රවීකරුණානායක අමාත්‍යවරයා කියා සිටියේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් රවි කරුණානායක අමත්‍යවරයා මෙසේද පැවසීය:

    ”ඔබ සියලූ දෙනා ඉතා හොඳින් දන්නා කාරණයක් තමයි කිසිම විනිවිදභාවයකින් තොරව, තරගකාරිත්වයකින් තොරව විශාල සංවර්ධන යෝජනාක‍්‍රම පැවැති රජය විසින් තම හිතමිතුරන්ට ලබාදීම. අපි බලයට එනවිට එම සමාගම් සමග කළ ගණුදෙනු සදහා, පැවැති රජය විසින් ගෙවියයුතු හිග මුදල් රුපියල් බිලියන ගණනාවක්ව පැවතුනා. බොහෝ යෝජනා ක‍්‍රම මුදල් නොගෙවීමේ හේතුවෙන් අතරමග නතරකර තිබුණා. අපි බලයට පැමිණි පසු වහාම ඒවා සමාලෝචනයකට ලක්කර ගෙවියයුතු හිගමුදල් පියවා දැමීමට කටයුතු කළා. වගකියයුතු රජයක් ලෙස මෙබඳු කාරණා නැවත සිදුවිමට ඉඩදිය නොහැකියි. ඒ වෙනුවෙන් අපි විවිධ රාජ්‍ය ප‍්‍රතිසංස්කරණයන් කරමිනුයි සිටින්නේ. ඉන් සමහරක් තමයි රාජ්‍ය මූල්‍ය කළමණාකරන පණත, තොරතුරු දැනගැනීමේ පණත, මුල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රතිසංස්කරණ, ප‍්‍රසම්පාදන ප‍්‍රතිසංස්කරණ හා රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර රෙගුලාසි හදුන්වාදීම.

    ලෝක ආර්ථික බලවතුන් ලෙස නැගී එන චීනය, ඉංදියාව පමණක් නොව අනෙකුත් සංවර්ධනය කරා වේගයෙන් ගමන්කරමින් සිටින වියට්නාමය, මොන්ගෝලියාව, කාම්බෝජය සහ ලා ඕසය වැනි රටවල පවා රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර ක‍්‍ර‍්‍රමවේදය තුලින් ජයග‍්‍රහණයන් අත්පත්කරගෙන තිබෙනවා.

    එබැවින් ශ‍්‍රී ලංකාවේ ඊට ගැලපෙන සාර්ථක රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර ක‍්‍රමවේදයක් දියත්කළ යුතු බවත් ඊට සියලූ විද්වතුන්ගේ අදහස් උදහස් යෝජනා බොහොසෙයින් උපකාර වනබවත් රවි කරුණානායක අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, රාවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරු සහ ලෝක බැංකුව නියෝජනය කරමින්එහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ලෝරන්ස් කාටර්‍ (Laurence Cater)මහතා, ලෝක බංකුවේ ශ්‍රි ලංකා නියෝජිතඅයිඩා ස්වරායි රිඩ්ඩිහවු (Idah Pswarayi Riddihough)මහත්මිය, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.