December, 9, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කොමර්ෂල් ක්‍රෙඩ්ට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ 29.99% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට තායිලන්ත කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සිංගප්පූරු සමාගමක් වන Group Lease Public Company Limited (GLPCL) සමාගම ඊයේ (08) දිනයේ දී පියවර ගනු ලැබීය.
මෙය මෑත කාලීන කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ගනුදෙනුව වන අතර 2012 මාර්තු 16 වනදායින් පසු වාර්තා වූ වැඩිම දෛනික පිරිවැටුම ද මේ අනුව ඊයේ (08) දිනයේ වාර්තා විය. මෙහිදී කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් හි කොටස් මිලියන 95.39 ක් මිලට ගැනීමට Group Lease Public Company Limited විසින් කටයුතු කරනු ලැබූ අතර ඒ වෙනුවෙන් රුපියල් බිලියන 10.56 ක ආයෝජනයක් සිදු කරනු ලැබීය. මෙහි ඇති විශේෂත්වය වනුයේ එක් කොටසක් වෙනුවෙන් රු. 111.00 ක Group Lease Public Company Limited විසින් ගෙවීමයි. අදාළ ගනුදෙනුව වන අවස්ථාවේ දී කොමර්ෂල් ක්‍රෙඩ්ට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කොටසක වෙළෙඳපොළ මිල රු. 61 ක් පමණ වූ අතර විදේශීය සමාගමක් මෙයාකාරයෙන් අධිමිලක් ගෙවා දේශීය සමාගමක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කර ගැනීම සුවිශේෂී කරුණක් වන්නේ එබැවිනි.
මෙහිදී කොටස් අලෙවිය කොමර්ෂල් ක්‍රෙඩිට් හි ප්රමුඛ කොටස්කරුවන් වූ BG Investments (Pvt.) Ltd (6.98%), CREATION INVESTMENT SRI LANKA LLC (22.26%)සහ එස්.එල්. ලා ෆ්රාන්ස් (0.74%) යන කොටස්කරුවන් විසින් සිදුකරනු ලැබීය.
මෙම ගනුදෙනුවට සමගාමීව කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්රමුඛ කොටස්කරුවා වන BG Investments (Pvt.) Ltd පූර්ණ හිමිකාරීත්වය දරනු ලබන මියන්මාරයේ BG Microfinance Myanmar Co Ltd (BGMM) හි මුළු කොටස් අයිතිය ද Group Lease Public Company Limited වෙත අලෙවි කරන ලදී. ඒ ඩොලර් මිලියන 8 ක ආයෝජනයක් වෙනුවෙනි.
Video Story