අයවැය මූල්‍යයනයට විදේශීය මූල්‍යකරණ මූලාශ්‍ර කෙරෙහි අවධානය

    December, 14, 2016

    අයවැය මූල්‍යයනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමේදී රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම වැනි දේශීය මූලාශ්‍ර යොදා ගැනීමට අමතරව, රාජ්‍ය බැංකුවල විදේශ මුදල් බැංකු ඒකක (FCBU) තුළින් අරමුදල් සම්පාදනය කරගැනීම, විදේශ විනිමය කාලීන මූල්‍යකරණ පහසුකම් සලසා ගැනීම හා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම වැනි විදේශීය මූල්‍යකරණ මූලාශ්‍ර ද යොදාගත හැකිය.

    එලෙස විවිධාංගීකරණය කරන ලද ණය ගැනීමේ විකල්ප අවස්ථා මඟින් අඩු පිරිවැයක් යටතේ අරමුදල් සලසා ගැනීමට හැකි වන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන විවිධ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ණය වෙළඳපොළට ප්‍රවේශ වීමට ද අවස්ථාව සැල‍සේ. එසේම එම ආයෝජකයන් අතර වැඩි තරගකාරීත්වයක් ද නිර්මාණය වනු ඇත.

    ඒ අනුව, 2017 වර්ෂය සඳහා අනුමත ණය ගැනීමේ සීමාව තුළ, විදේශ විනිමය කාලීන මූල්‍යකරණ පහසුකමක් සලසා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස මහා භාණ්ඩාගාරයේ, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරින්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුක් හා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.