බදු අයකිරීමේ ක්‍රියාවලිය තව දුරටත් ශක්තිමත් කිරීමට තායිලන්තයේ සහාය

    December, 20, 2016

    මෙරට පවතින බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ තායිලන්න තානාපති නොපෝන් අඩ්චරියාවනිච් මහතා ප්‍රකාශ කරයි. තානාපතිවරයා පෙන්වා දෙන්නේ රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට බදු ගෙවීම පැහැර හරින්නන් හරි හැටි හඳුනා ගැනීම සහ ඔවුන්ට මග පෙන්වීම ලබා දීම අවශ්‍ය බවයි. මේ සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ පවතින දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය තව දුරටත් ශක්තිමත් කර ගැනීම කාලෝචිත පියවරක් බව ද නොපෝන් අඩ්චරියාවනිච් මහතා අවධාරණය කරයි.

    තායිලන්න තානාපතිවරයා මේ බව සඳහන් කළේ සිය නිල කාලය අවසන් කර සිය රට බලා පිටත්ව යාමට පෙර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (19) පස්වරුවේ හමු වූ අවස්ථාවේ දී ය. මෙම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    තායිලන්ත බදු ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා දේශීය ආදායම්, සුරාබදු වැනි දෙපාර්තමේන්තුවල ඉහළ නිලධාරීන්ට තම රට තුළ අවස්ථාව උදාකර දීමට හැකි බව ද තානාපතිවරයා එහි දී කියා සිටියේ ය.

    සිය රාජකාරී කටයුතු වෙනුවෙන් ලබා දුන් සහය පිළිබඳ මුදල් අමාත්‍යවරයාට ස්තුතිය පළ කළ තානාපතිවරයා කියා සිටියේ සිය ධුර කාලය තුළ දෙරට අතර බැඳීම තව දුරටත් ශක්තිමත් වූ බවයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි දී කියා සිටියේ බෞද්ධ පසුබිමක් සහිත රටවල් දෙකක් ලෙස අතීතයේ සිට පැවැති ආගමික සබඳතාවන් ඉදිරියේ දී තව දුරටත් ශක්තිමත් වනු ඇති බවයි.