January, 4, 2017
රට තුළ ණයබරතාව පැවතියත් එහි බලපෑම කිසිදු මොහොතක ජනතාව මත පැටවීමට රජය සූදානම් නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2017 උදා වූ නව වසර තුළ රට ජයග්‍රහණය කරා රැගෙන යාමේ යුගය ආරම්භ කර ඇති බවයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ 2017 වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පසුගිය සඳුදා (02) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති උත්සවයක දී ය.
ඒක පුද්ගල රඟපෑම් වෙනුවට සාමූහිකව කටයුතු කර, අභියෝග ජය ගැනීම රජයේ අපේක්ෂාව වී ඇති බවත්, රට තුළ විනය පවත්වාගෙන යමින් විනිවිධභාවයෙන් යුතුව කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බවත් රවී කරුණානායක මහතා මෙහි දී පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකාව නිදහස ලබා ගත් දා සිට ගෙවුණු කාලය තුළ රටක් ලෙස, ජයග්‍රහණ සේ ම විවිධ පසුබෑම්වලට ලක් වූ බව පෙන්වා දුන් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ වූ බවයි. එතෙක් එකිනෙකාට විරුද්ධ මතයන් හි පිහිටා කටයුතු කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව රට පාලනය කිරීම ආරම්භ කළ අතර, 2017 එම පාලනයේ තවත් සාර්ථක ඉදිරි ගමනක් පෙන්නුම් කරන වසරක් බව ද රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියේ ය.
2015 ජනවාරි 08 වැනි දා නව රජය, රට භාර ගත්තේ රුපියල් බිලියන 10,900ක ණය කන්දරාවක් ද සමග බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ මූල්‍ය විනය තුළින් මේ වන විට ඒවා නිසි කළමනාකාරීත්වයකට යටත් කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ ණයබරතාව කිසිසේත් ම ජනතාව මත පැටවීමට රජය සූදානම් නොමැති බව රවී කරුණානායක මහතා එහි දී පැවැසීය. රජයේ ඉදිරි ගමන් මග පිළිබඳ ජනතාව ඉතා ඕනෑකමින් බලා සිටින බවත්, 2017 වසර තුළ රටේ සමාජ ආර්ථික පරිසරය විශාල වෙනසකට ලක් වන බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.
උත්සවයේ දී අදහස් දැක් වූ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා 2017 අභියෝගාත්මක වසරක් බව පෙන්වා දුන්නේ ය. 2017 අයවැය තුළින් ඉදිරිපත් කර ඇති යෝජනා 325කට අධික ප්‍රමාණය ක්‍රියාත්මක කිරීම සඳහා ඇති දින 365ක කාලය ඉතා මැනැවින් කළමනාකරණය කර ගත යුතු බව සමරතුංග මහතා සඳහන් කළේ ය.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අද ප්‍රකාශයට පත් කළ තිරසරයුගයක තෙවසර ඇරැඹුම වැඩසටහන යටතේ වන විවිධ ව්‍යාපෘති සඳහා මුදල් අමාත්‍යාංශයේ දායකත්වය අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් ලේකම්වරයා සඳහන් කළේ එම ඉලක්ක සපුරා ගැනීම සඳහා උපරිම කැපවී ක්‍රියා කළ යුතු බවයි.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරු වන එස්.ආර්. ආටිගල, ඒ.ආර්. දේශප්‍රිය, චන්ද්‍රා ඒකනායක යන යන මහත්ම මහත්මීහු සහ සියලුම දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයසහභාගී වී සිටියහ.
Video Story