ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධන සැලසුම් සඳහා විශේෂඥ උපදෙස්

    January, 18, 2017

    ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධන සැලසුම් පිළිබඳව නිරීක්ෂණය කර, විශේෂඥ උපදෙස් ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන මෙන්, කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සහ මහජන සම්බන්ධතා අංශයේ මහාචාර්ය ජෝසප් ස්ටිග්ලිට්ස් (Prof. Joseph Stiglitz) මහතාට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළේය.

    ස්විට්සර්ලන්තයේ ඩවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අවස්ථාවේ ස්ටිග්ලිට්ස් මහතා සහ වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා පැවති අතර, ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික හා සංවර්ධන අපේක්‍ෂාවන් පිළිබඳව මෙහිදී ගැඹුරින් විමසා බැලිණි.

    2030 වසර වන විට ඉහළ ආදායම් ලැබිය හැකි රටක් බවට පත්වීමේ සැලසුම් ශ්‍රී ලංකාව සකස් කරමින් සිටින බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මගින් වර්තමාන අභියෝගයන්ට මුහුණ දෙමින් රට යළි ගොඩනැංවීම සඳහා ධනාත්මක පියවර රාශියක් ගනිමින් සිටින බව ද පෙන්වා දුන්නේය.