January, 27, 2017
දැනට මන්දගාමී තත්ත්වයක පසුවන කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වඩාත් සක්‍රීය මට්ටමකට ගෙන ඒමේ අරමුණු ඇතිව ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගමක් වන Zerodha සමාගම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙරට දිනපතා පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි නිර්මාතෘ/ ප්‍රධාන විධායක නිලධාරී Nithin Kamath විසින් මේ බව අනාවරණය කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් Zerodha ප්‍රධානියා පවසා ඇත්තේ මූලික අදියරේ දී ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් මෙරට ආයෝජනය කර මෙරට කොටස් තැරැව්කාර සමාගමක් මිල දී ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි. සිය සමාගම ඉන්දීය සිල්ලර ආයෝජක වෙළෙඳපොළෙන් සියයට 4 ක ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන බවත්, සිය නවතම ගනුදෙනු පද්ධතිය වන "Robo Advisory Platform'' සමඟින් ශූන්‍ය තරැව්කාර ගාස්තු (zero commission) ක්‍රමවේදය යටතේ ගනුදෙනු කිරීම හඳුන්වා දීම හරහා මෙරට සිල්ලර වෙළෙඳපොළ ගනුදෙනු වඩාත් සක්‍රීය කළ හැකි බවත් ඔහු මෙහිදී පවසා ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙවැනි සමාගමක් ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කරනු ලබන බවට කිසිදු නිල දැනුම් දීමක් මේ දක්වා සිදු කර නොමැති බවයි.
කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති රවී අබේසූරිය මහතාගෙන් අද දෙරණ මේ පිළිබඳව විමසා සිටි අතර එහිදී ඔහු ද කියා සිටියේ ඉන්දීය තැරැව්කාර සමාගමක් මෙරට මෙහෙයුම් අරඹන බවට කිසිදු දැනුවත්භාවයක් තමන් හට නොමැති බවයි. එසේම පවතින වාතාවරණය තුළ කිසිදු විදෙස් ආයෝජකයෙකු එවැනි තීරණයක් ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද අබේසූරිය මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.
මේ අතර කොටස් තැරැව්කාර සමාගමක ප්‍රධානියෙකුගෙන් මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී ඔහු කියා සිටියේ, Zero Commission සංකල්පය ඉන්දියාව වැනි වඩාත් ලිබරල්කරණය වූ වෙළෙඳපොළක් තුළ ක්‍රියාවට නැංවිය හැකි වුවද ශ්‍රී ලංකාව වැනි ස්ථාවර තැරැව්කාර ගාස්තුවක් නියම වී ඇති රටක එය ක්‍රියාවට නැංවීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවන බවයි. එහිදී තැරැව්කාර ගාස්තු සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීතිවල වෙනසක් අනිවාර්යයෙන් සිදුකිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිසමට සිදුවන බව ද හෙතෙම අවධාරණය කළේය.
Video Story