February, 1, 2017
ටයිල් කර්මාන්තයට අයත් මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් වන රෝයල් සෙරමික්, ලංකා සෙරමික්, ලංකා ටයිල් සහ ලංකා වෝල්ටයිල් යන සමාගම් සියල්ලම 2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශ ඊයේ (31) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ලදී.
මෙම සමාගම් සියල්ලකම පාහේ මූල්‍ය ප්‍රකාශ පිරික්සීමේ දී නිරීක්ෂණය කළ හැකි පොදු ලක්ෂණයක් වනුයේ 2015 දෙසැම්බර් 31 න් අවසන් කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව තුළ දී සමාගම්වල ලාභදායිත්වයේ වර්ධනයක් අත්පත් කර ගෙන තිබීමයි. මෙම තත්ත්වය සංක්ෂිප්තව පහත පරිදි දැක්විය හැකිය.
ලංකා වෝල්ටයිල් සමාගමේ ආදායම 2015.12.31 න් අවසන් කාර්තුවේ දී රු. මිලියන 897.95 සිට රු. මිලියන 978.62 දක්වා වැඩි වී ඇත. මේ අතර සමාගමේ ශුද්ධ ලාභය අදාළ කාර්තුවේ දී රු. මිලියන 181.81 සිට රු. මිලියන 224.94 දක්වා ඉහළ ගොස් තිබේ.
ලංකා සෙරමික් පීඑල්සී හි ආදායම රු. මිලියන 54.44 සිට රු. මිලියන 70.32 දක්වා වැඩි වී තිබෙන අතර කාර්තුව තුළ වාර්තා කර ඇති ලාභය රුපියල් මිලියන 11.75 සිට රු. මිලියන 81.01 දක්වා වාර්ධනය වී ඇත. කෙසේ වෙතත් 2016/17 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 තුළ දී සමාගමේ ලාභය රු. මිලියන 127.80 සිට රු. මිලියන 112.23 දක්වා 12.2% කින් අඩු වී ඇත.
රෝයල් සෙරමික් පීඑල්සී හි දළ ආදායම ගෙවී ගිය කාර්තුව තුළ දී රු. මිලියන 975.44 සිට රු. මිලියන 1,201.35 දක්වා ඉහළ ගොස් තිබෙන අතර සමාගමේ ශුද්ධ ලාභය රු. මිලියන 177.98 සිට රු. මිලියන 237.22 දක්වා වර්ධනය වී තිබේ.
ලංකා ටයිල් පීඑල්සී බදු ගෙවීමෙන් පසු ලාභය 2016.12.31 න් අවසන් කාර්තුවේ දී රුපියල් මිලියන 533.46 සිට රු. මිලියන 403.94 දක්වා අඩු වී ඇත. 2016/17 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 තුළ සමාගමේ ලාභය රු. බිලියන 1 සිට රු. මිලියන 877 දක්වා 13% අඩු වී ඇත.
මේ අතර ටයිල් කර්මාන්තය හා සමාන්තර ව්‍යාපාරික අංශයක නිරත සමාගමක් වන ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී හි මූල්‍ය ප්‍රතිඵල ද ඊයේ දිනයේ දී නිකුත් වූ අතර එහිදී රු. මිලියන 145.45 සිට රු. මිලියන 174.30 දක්වා වර්ධනයක් සහ රු. මිලියන 27.87 සිට රු. මිලියන 28.99 දක්වා ශුද්ධ ලාභ වර්ධනයක්, 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව තුළ දී වාර්තා කර ඇත. සනිපාරක්ෂක උපාංග, ටයිල් ඇල්ලීම සඳහා ගන්නා ග්‍රවුට්, ඇලුමිනියම් පාටිෂන් නිෂ්පාදනය අලෙවිය හා බෙදාහැරීම ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී සමාගමේ ව්‍යාපාරික අංශ වේ.
ඉහත සඳහන් සියලූම සමාගම් වැලිබල් වන් සමූහයට අනුබද්ධ සමාගම් වේ.
Video Story