පෝට් සිටි යාත්‍රාව නිසා ආනයන වියදම් වැඩිවෙයි

    February, 7, 2017

    2016 ඔක්තෝබර් මාසයේ දී ආනයන වියදම 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1,906 ක් දක්වා සියයට 16.4 කින් වැඩි වූ අතර, ආයෝජන භාණ්ඩ යටතේ වර්ග කළ කැණීම් සඳහා භාවිතා කරන යාත්‍රාවක් කොළඹ වරාය නගර ඉංජිනේරු පෞද්ගලික සමාගම (CHEC Port City Colombo (Pvt) Ltd.) විසින් ආනයනය කිරීම මේ සඳහා මූලික වශයෙන් හේතු විය.

    මෙම යාත්‍රාව හැරුණුකොට 2016 ඔක්තෝබර් මාසයේ දී ආනයන වියදම 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 5.2 කින් වැඩි විය. අන්තර් භාණ්ඩ, ආහාර හා පාන වර්ග ආනයන වියදම් පිළිවෙලින් සියයට 9.6 කින් සහ සියයට 44.1 කින් වැඩි වූ අතර, වෙනත් පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම සියයට 25.8 කින් පහළ ගියේය.

    අන්තර් භාණ්ඩ ආනයන වියදමෙහි වර්ධනය සඳහා රෙදිපිළි උපාංග, රත්‍රං සහ ඛනිජ නිෂ්පාදිත ආනයන වියදම් ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය. රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයන වියදම සියයට 35.5 කින් වැඩි වූ අතර මේ සඳහා රෙදිපිළි ආනයන වියදම ඉහළ යාම හේතු විය. 2016 ඔක්තෝබර් මාසයේ දී රත්‍රං ආනයන වියදම 2015 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ ආන්තික වටිනාකමට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 57 ක් දක්වා ඉහළ ගියේය.

    බොරතෙල් පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල්අඟුරු ආනයන වියදම පිළිවෙලින් සියයට 4.5 කින්, සියයට 14.4 කින් සහ සියයට 8.1 කින් වැඩිවිය. 2016 වසරේ අවසාන මාස කිහිපය තුළ දී තාප විදුලි උත්පාදනය ඉහළ යෑම ද පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන ප්‍රමාණය වැඩිවීමට බලපෑවේය. බොරතෙල් සහ ගල් අඟුරු ඒකකයක් සඳහා දරන ලද සාමාන්‍ය වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව පිළිවෙලින් සියයට 7.0 කින් සහ සියයට 13.0 කින් ඉහළ ගිය අතර පරිපහදු කළ ඛනිජතෙල් ඒකකයක් සඳහා දරන ලද සාමාන්‍ය වියදම සියයට 6.1 කින් පහළ ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරන ලද 2016 ඔක්තෝබර් මාසය සඳහා වන විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තවෙහි මේ බව සඳහන් වේ.