February, 8, 2017
මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා වන තමන් අතර දුරස්ථ බවක් පැවතීම හොඳ දෙයක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද පැවති මාධ්‍ය හමුවක් දී පැවසීය. “මම එයත් එක්ක වැඩ කරනවා. හැම සුමානේම ගිහිං එයාව හම්බු වෙනවා“, යැයි අධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
මේ අතර මහ බැංකු අධිපතිවරයා සහ නියෝජ්‍ය අධිපතිවරයා වැඩක් කරන්නේ නැති බවත්, මාධ්‍ය සංදර්ශන පවත්වමින් පමණක් සිටින බවටත් මුදල් අමාත්‍යවරයා සිදුකර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, “මම වැඩ කරනවාද නැද්ද යන්න බලන්න, දවසක එන්න මාත් එක්ක ගත කරන්න“, යැයි අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමසූ මාධ්‍යවේදිනියකට ඇරයුම් කර සිටියේය.
මේ අතර වර්තමානයේ දී ක්‍රියාත්මක නම්‍යශීලී විනිමය අනුපාත ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා කළ චෝදනාවක් සම්බන්ධයෙන් ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වීය.
“මුදල් මණ්ඩලයට මේ ප්‍රතිපත්තිය අපි ඉදිරිපත් කරනවා. ඊට පසු ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනුකමිටුවට එය ඉදිරිපත් කර තිබෙනවා. ඊට පස්සේ තමයි අපි මේ ප්‍රතිපත්ති ගෙනියන්නේ. කැබිනට් ආර්ථික කමිටුවේ ප්‍රධානත්වය ගනු ලබන්නේ අග්‍රාමාත්‍යවරයා. සහභාග රජයේ දෙපැත්තේම ඇමතිවරු 7-8 දෙනෙකු එහි සිටිනවා. “
මේ අතර මුදල් අමාත්‍යාංශයේ පැවත්වෙන රැස්වීම් සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සහභාගී වනවා දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේ මෑතක දී ඔහුව දැක්කේ නැති බවයි.
“සතියකට වරක් මුදල් අමාත්‍යාංශයේ තිබෙන හමුව මහ බැංකුවේ කටයුතු ගැන පමණක් සාකච්ඡා කරන හමුවක් නොවෙයි. එය න්‍යාය පත්‍රයක් අනුව සිදුකෙරෙන්නක්. ඊට මහ බැංකුවත් ඇතුළත්. එම නිසා හිටපු මහ බැංකු අධිපතිතුමා, මහ බැංකුව සම්බන්ධ රැස්වීමකට පැමිණි බව කියනවා නම් එය වැරදියි.
තවද හිටපු අධිපතිවරයා සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් තමන් වැළකී සිටිනා බවත්, කිසිදු මහ බැංකු අධිපතිවරයෙකු තවත් හිටපු අධිපතිවරයෙකු පිළිබඳ අදහස් දැක්වීම නොනළ යුතු දෙයක් බවට තමන් පිළිගන්නා බවත් ආචර්ය කුමාරස්වාමි මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
Video Story