යුරෝපා සංගමයේ ණයආධාර සඳහා බදු සහ රේගු ගාස්තු පිළිබඳ කාර්යරාමු ගිවිසුමක්

    February, 9, 2017

    යුරෝපා සංගමය (EU) විසින් මේ දක්වා ශ්‍රී ලංකා රජය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 220කට අධික වටිනාකමකින් යුතු ප්‍රදාන ආධාර ද ඊට අමතරව විශාල ප්‍රමාණයක මානුෂීය ආධාරද සපයනු ලැබ තිබේ.

    2014 - 2020 කාලසීමාව සඳහා යුරෝ මිලියන 210ක (රුපියල් බිලියන 34ක් පමණ) ආධාර ප්‍රමාණයක් ලබා දීමට ද එම සංගමය එකඟ වී ඇති අතර, එම මුදලින් යුරෝ මිලියන 72ක් මේ වන විටත් ව්‍යාපෘති 03ක් සඳහා වෙන් කරනු ලැබ තිබේ.

    යුරෝපා සංගමයේ මාර්ගෝපදේශයන් අනුව එම සංගමය විසින් ලබා දෙනු ලබන ප්‍රදාන ආධාර මුදල් අදාළ රජය විසින් පනවනු ලබන තීරුබදු, බදු හා වෙනත් මූල්‍ය බදු ගෙවීම සඳහා යොදා ගත නොහැකි වේ.

    ඒ අනුව යුරෝපා සංගමයේ පොදු අයවැය මඟින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් අදාළ කරගනු ලබන බදු සහ රේගු ගාස්තු පිළිබඳ කාර්යරාමු ගිවිසුමකට යුරෝපා සංගමය සමඟ එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍වරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.