දිගුකාලීන විදුලි ජනන සැළැස්ම පිළිබද මහජන අදහස් ලබාගැනීමේ පළමු අදියර ඇරඹේ

    February, 28, 2017

    ඉදිරි වසර 20ක කාලය සදහා සකස් කරනු ලබන දිගු කාලීන විදුලි ජනන සැළැස්ම සැකසීමට භාවිත කෙරෙන පදනම හා මුලික දත්ත ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ. විදුලි ඉල්ලුම ඉහල යාමේ වේගය, අනාගතයේදී අවශ්‍යවන විදුලි ධාරිතාව, ඉන්ධන මිල ගණන්, තාක්ෂණය, ආර්ථික සාධක ආදිය මෙම මෙම මුලික දත්තවල අන්තර්ගත ය. මෙම දත්ත මහජනතාවගේ දැනගැනීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ඒවා සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩකඩ සලසා ඇත.

    මෙසේ ඉදිරිපත් කරන යෝජනා හා අදහස් අවසන් දිගුකාලීන ජනන සැළැස්ම අනුමත කිරීමේදී සැළකිල්ලට ගනු ඇත.

    දිගුකාලීන ජනන සැළැස්ම සකස් කිරීමේ දි පාදක කරගනු ලබන දත්ත මහජනතාවගේ දැනගැනීම සදහා නිකුත් කල ප්‍රථම අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා ප්‍රකාශ කලේ ය. සළකාබැලෙන ඉන්ධන මිල ගණන්, සමාජ හානි පිරිවැය, බලාගාරවල පිරිවැය ඇස්තමේන්තුකිරීමට භාවිත කරන පදනම, බලාගාර වලට අදාල තාක්ෂණය ආදි කරුණු සම්බන්ධයෙන් මහජනතාවට අදහස් දැක්විය හැකි බවද සදහන් කරන ලදී.

    නව ඇස්තමේන්තු අනුව ඉදිරි කාලයේදී විදුලි ඉල්ලුම සියයට 6කින් පමණ වර්ධනය වේ. ඒ අනුව ඉදිරි වසර 20ක් තුලදී ඉදිකල යුතු බලාගාර සංඛ්‍යාව හා ඒවායේ ධාරිතාවය තීරණය කෙරෙනු ඇත. එසේ බලාගාර පිළිබද තොරතුරු සකස් කිරීමෙන් අනතුරුව ඒ පිළිබද මහජනතාව දැනුවත් කිරීමට හා මහජන අදහස් විමසීම දෙවන අදියරේදී සිදු කිරීමට නියමිත ය. එම දෙවන අදියරේ මහජන උපදේශනය ලබන මැයි මාසයේදී නිවේදන කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කර ඇත.

    දිගුකාලීන ජනන සැළැස්ම සකස් කිරීමට අදලා පදනම් දත්ත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා වෙබ් අඩවියෙහි පල කර ඇත. (www.pucsl.gov.lk) ඒ පිළිබද මහජන අදහස් තැපෑලෙන්, ෆැක්ස්, ඊමේල් මගින් හෝ වෙබ් අඩවිය හරහා සජීවි ලෙස ඉදිරිපත් කළ හැකි ය.