ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීමට රජයෙන් පියවර රැසක්

    March, 27, 2017

    රටේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා දායක විය හැකි ප්‍රධාන කර්මාන්තයක් වශයෙන් ඖෂධ නිෂ්පාදන කාර්මාන්තය හඳුනාගනු ලැබ තිබේ.

    එබැවින්, දේශීය ඖෂධ ඉල්ලුම සපුරා ලීමට, ගුණාත්මක ඖෂධ පහසු මිලකට ලබා දීමට සහ ආනයනික ඖෂධ මත රඳා පැවැත්ම අවම කිරීමට හැකි වන අයුරින් මෙරට ඖෂධ නිෂ්පාදකයින්ගේ ධාරිතාව වැඩිදියුණු කර ලීම සඳහා පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය වේ.

    මෙරට සමස්ත ඖෂධ අවශ්‍යතාවෙන් 15% ක් පමණ දැන‍‍ට දේශීයව නිපදවනු ලබන අතර, එය 80% ක් පමණ දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.

    ඒ අනුව, මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නවීකරණය හා පුළුල් කිරීම සඳහාත්, අපනයන වෙළඳ පොළට පිවිසීමට හැකි වන පරිදි තරගකාරීත්වය වර්ධනය කර ලීම සඳහාත් පහසුකම් සැලසීමේ අරමුණින්, ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන අමුද්‍රව්‍ය, ඇසුරුම් ද්‍රව්‍ය, යන්ත්‍රසූත්‍ර, උපකරණ හා උපාංග සහ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ඉදි කිරීමේදී අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ආනයනය කිරී‍මේදී බදු සහන ලබා දීමටත්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සඳහා ආයෝජන ආකර්ෂණය කරගැනීම පිණිස යෝජිත 'ජෛව වෛද්‍ය කලාපය' (Biomedical Zone) පිහිටුවීමේ කටයුතු කඩිනම් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.