BOI සමාගම් ලයිස්තුගත කිරීමට ඉල්ලුවත් ආයෝජන මණ්ඩලය තාමත් නිදි

    May, 25, 2014

    ආයෝජන මණ්ඩල සමාගම් ලයිස්තුගත කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළේ වෙනමම පුවරුවක් ඇති කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළම නිළධාරියෙකු සුරැකුම් පත් හා විනිමය කොමිසම වෙත ඉතා ඕනෑ කමින් කළ ඉල්ලීමට කොමිසම අවස්ථාව ලබාදී දිගු කාලයක් ගත වුවත් ඒ සඳහා ආයෝජකයින් සම්බන්ධ කිරීමට ආයෝජන මණ්ඩලය තවමත් අපොහොසත්ව තිබෙන බව අප වෙත අනාවරණය වේ.

    තතු දත් ආරංචි මාර්ග හෙළි කරන්නේ ආයෝජන මණ්ඩල සමාගම් සඳහා නව පුවරුවක් ආරම්භ කිරීමේ වැඩසටහන ආයෝජකයින් වෙත හඳුන්වා දීමට ආයෝජන මණ්ඩලය මේ දක්වා අපොහොසත්ව තිබෙන බවයි.

    අයෝජන මණ්ඩලය යටතට වැටෙන ව්‍යාපෘති සිදුකිරීම සඳහා මෙරටට පැමිණෙන ආයෝජකයින්ට එම ව්‍යාපෘති වඩාත් සුරක්ෂිත කිරීම සඳහා ආයෝජන මණ්ඩල සමාගම් ආරම්භ කළ දිනයේ සිටම කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කිරීම සඳහා වෙනමම පුවරුවක් ආරම්භ කරන්නැයි ආයෝජන මණ්ඩලයේ ප්‍රධානියෙකු විසින් සුරැකුම් පත් හා විනිමය කොමිසමට ඉල්ලීමක් කර තිබුණි.

    මෙම ඉල්ලීම සලකා බැලූ විනිමය කොමිසම කොන්දේසි මත එයට අවස්ථාව ලබාදුන්නේය.

    ආයෝජකයින් විසින් ඩොලර් මිලියන 10 කට වැඩි ආයෝජනයක් කළ යුතුවීම, ප්‍රධාන ආයෝජකයාට අවුරුදු දෙකක් යනතුරු ව්‍යාපාරයෙන් සියයට 50 ක කොටස් විකිණීමට නොහැකිවීම, වසර දෙකකින් පසුවද එම කොටස් විකිණිය යුතු වන්නේ සුදුසුකම් සපිරූ ආයෝජකයින්ට පමණක් වීම එම කොන්දේසි වේ.

    විනිමය කොමිසම විසින් ආයෝජන මණ්ඩල සමාගම් සඳහා වෙනමම කොටස් පුවරුවක් ආරම්භ කිරීමට අවසර ලබාදී තිබුණත් එහි ලයිස්තුගත කිරීමට ආයෝජකයින් සොයාගත යුත්තේ ආයෝජන මණ්ඩලය විසිනි.

    මේ සඳහා අවසර ලබාදී දිගු කාලයක් ගතවී තිබුණත් එවැනි ආයෝජකයින් ආයෝජන මණ්ඩලය විසින් විනිමය කොමිසම වෙත තවමත් ඉදිරිපත් කර නොමැත.

    කොළඹ කොටස් වෙළඳ පොළේ පවතින ක්‍රමය අනුව ලයිස්තුගත කළ හැක්කේ සමාගමක් ආරම්භ කර අවුරුදු තුනකට පසුවයි.

    මේ වනවිට, සමාගම් ලයිස්තුගත කිරීම සඳහා ප්‍රධාන පුවරුව සහ දිරිසවි පුවරුව ලෙසින් පුවරු දෙකක් තිබේ.