June, 3, 2014
කිරි පිටි ආනයන සමාගම් විසින් මෙරටට කිරිපිටි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා රජය ලබාදී තිබූ බදු සහනය (Duty Waiver) වහාම ක්රියාත්මක වන පරිදි අඩු කිරීමට රජය කටයුතු කර තිබේ.
ලෝක වෙළඳ පොළේ කිරි පිටි මිල ගණන් නිතර වැඩිවූ නිසා මෙම බදු සහනය මුදල් අමාත්යංශය විසින් ලබාදී තිබූ අතර මෙහිදී කිරිපිටි කිලෝවක් සඳහා අයකළ යුතුව තිබූ රුපියල් 125 ක රේගු බද්දෙන් අය කරනු ලැබුවේ රුපියල් 57 ක් පමණි. එනම් රුපියල් 68 ක්ම බදු සහනයක් ලෙස ආනයන සමාගම් වලට ලබාදී තිබුණි.
නමුත්, ලෝක වෙළඳ පොළේ මේ දිනවල කිරිපිටි මිල ගණන් විශාල ලෙස අඩුවීම නිසා මෙම බදු සහනය රුපියල් 43 ක් දක්වා අඩුකිරීමට මුදල් අමාත්යංශය කටයුතු කර ඇත. එනම්, කිරිපිටි ආනයන සමාගම් වලින් කිරිපිටි කිලෝවක් සඳහා අයකළ රුපියල් 57 ක මුදල රුපියල් 82 ක් දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්යංශය කටයුතු කර තිබේ.
මුදල් අමාත්යංශය පවසන්නේ ලෝක වෙළඳ පොළේ කිරිපිටි මිල අඩුවීම නිසා මෙම බදු සහනය අඩු කළද පවතින මිලට හෝ එම මිලට අඩුවෙන් කිරි පිටි ලබාදීමට කිරිපිටි ආනයන සමාගම් වලට හැකි බවයි.
මෙම බදු සහනය අඩුකිරීම නිසා කිරිපිටි මිල ගණන් ඉහළ නොයන බව මුදල් අමාත්යංශය සඳහන් කරයි.
ලෝක වෙළඳ පොළේ ඩොලර් 5000 කට පමණ තිබූ කිරිපිටි මෙට්රික් ටොන් එකක මිල මේ වනවිට ඩොලර් 3800 කට පමණ අඩුවී තිබෙන අතර මෙරට විපක්ෂය දිගින් දිගටම සඳහන් කළේ එම සහනය පාරිභෝගික ජනතාවට ලබාදිය යුතු බවයි.
Video Story